gossip lanka

නිදහස් පක්ෂයට 67යි – සංවත්සර සැමරුම අදයි

අද 67 වන සංවත්සරය සමරන ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොමැකෙන මතක සටහන් සනිටුහන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය සිදුවූයේ 1951 වසරේ සැප්තැම්බර් 2 වනදායි.

ඒ, එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍යවරයෙකු වූ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952 වසරේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදුන් අතර, එහිදී ආසන 9 ක් දිනා ගනිමින් දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විපක්ෂ නායක තනතුරට පත්වුණා.

1956 පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගතව ඉදිරිපත් වෙමින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, බණ්ඩාරනායක ඝාතනයෙන් පසු හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක වෙත භාරවුණා.

1960 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් ඇය ලොව පළමු අගමැතිනිය බවට පත්වූ අතර, 1977 වසරේ පරාජයෙන් පසු නිදහස් පක්ෂය යළි පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගතව 1994 වසරේදී බලය පිහිටවනු ලැබුවා.

අනතුරුව නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරුන් 3 දෙනෙකු බිහිවීම ද විශේෂත්වයක්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ සහ වත්මන් පක්ෂ සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ජනපතිවරුන් තිදෙනායි.

මෙවර පක්ෂ සංවත්සර සැමරුම් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ කැළණිය රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් එහි ප්‍රධාන උත්සවය අද පස්වරුවේ පැවැත්වෙන බවයි.
gossip lanka