gossip lanka

සිංහයින්ට අති දැවැන්ත ජයක් – අවසන් තරගය නිමාවුණේ මෙහෙමයි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග 5කින් යුතු එක්දින තරගාවලියේ අවසන් තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී  අවසන් වුණා.

ඒ ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයක් අත් කර දෙමින්.

ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 178කින්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව වෙත
ලකුණු 300ක ඉලක්කයක් ලැබී තිබුණු අතර පන්දු වාර 24යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ඔවුන් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

ඊයේ තරගය තුළ දී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 97ක් ලබා ගැනීම සහ අකිල ධනංජය කඩුළු 6ක් දවා ගැනීම විශේෂයෙන් කැපී පෙණුනා.

එය අකිලගේ හොඳම පන්දු යැවීම ලෙසයි සැළකෙන්නේ.

පස්වරු 2.30ට ඇරඹුණු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් දෙපළවන නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගුවා.

පළමු කඩුල්ල ලෙස උපුල් තරංග දැවී ගියේ ලකුණු 19කට යි.

ඉන් අනතුරුව පන්දුවට පහර දීම සඳහා පැමිණි කුසල් ජනිත් පෙරේරා හට ද සාර්ථක වීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර ඔහු ලබාගත්තේ ලකුණු 8ක් පමණයි.

ස්ථාවර වෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල තුන්වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඔහු ලකුණු 43ක් රැස් කරගෙන සිටියා.

ලකුණු 38ක් ලබා සිටියදී සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ කුසල් මෙන්ඩිස්.

පස්වැනි කඩුල්ල ලෙස උඩපන්දුවක් ලබාදෙමින් ධනංජය ද සිල්වා දැවී ගියේ ලකුණු 30ටයි.

තිසර පෙර්රාට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

පසුගිය තරගයේ සාර්ථක ඉනිමක් ගොඩ නැගූ දසුන් ශානක හට ඊයේ තරගයේ අවසන් භාගයේ දී ද ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ශක්තියක් වන්නට හැකි වූ අතර ඔහු ලබාගත් ලකුණු ගණන 21ක්.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අකිල ධනංජය දුවද්දී දැවී යාමකට හසු වූ අතර ඒවන විට ඔහු ලකුණු 5ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මනරම් ඉනිමක් වාර්තා කළ අතර අවාසනාවන්ත ලෙස ඔහුට ශතකය මගහැරුණේ ලකුණු 3කින්.

මැතිව්ස් නොදැවී ලකුණු 97ක් රැස්කළා.

තරගයේ අවසන් පන්දුවේ දී ශතකය සඳහා ලකුණු 4ක් ලබා ගැනීමට මැතිව්ස් හට අවශ්‍ය වී තිබුණත් එම පන්දුවේ දී ඔහුට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

කෙසේ වෙතත් සිය එක් දින දිවියේ 37 වැනි අර්ධ ශතකයයි මැතිව්ස් iye වාර්තා කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ දී පැවැත්වුණු තරගයක් අතරතුර මැතිව්ස් රැස් කළ වැඩිම ලකුණු ගණන ද මෙය වනවා.

ලකුණු 299ක් රැස් කළ ශ්‍රී ලංකා ඉනිමට පිළිතුරු ලෙස ලකුණු 300ක ඉලක්කයක් කරා පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් හට සාර්ථක වන්නට අකිල ධනංජය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

දකුණු අප්‍රිකානු ඉනිමට එරෙහි පළමු පන්දුවාරය සුරංග ලක්මාල් විසින් යවන ලද අතර දකුණු අප්‍රිකා පළමු කඩුල්ල ලෙස ප්‍රබල ක්‍රීඩක හෂීම් අම්ලා දවා ගැනීමට එම පළමු පන්දුවාරයේදීම ලක්මාල් සමත්වුණා.

අම්ලා දැවී ගියේ කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙරයි.

පලමු පන්දුවාරයේ දී බිඳවැටුණු කඩුල්ලත් සමගින් පසුබෑමකට ලක්වූ දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කිරීමට උත්සහ දරමින් හතරේ පහර කිහිපයක් ද එල්ල කර ස්ථාවර වන්නට වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු 20ක් ලබා දැවී ගියේ දෙවැනි කඩුල්ල ලෙසයි.

පන්දු යැවූ අකිල ධනංජය වෙතටම උඩපන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියා.

පසුගිය දා ඉතා ප්‍රබල ලෙස ලකුණු රැස් කළ රීසා හෙන්ඩ්‍රික් හට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

තෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ මාක්‍රම් දැවී ගිය පන්දුවට පසු ධනංජය යැවූ ඊළඟ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඊළඟ පිතිකරු ලෙස පැමිණි හෙන්රිච් ක්ලාසෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී ලකුණු 3ක්ලබා සිටියදී දැවී ගියේ ද අකිල ධනංජයගේ පන්දුවකට යි.

ජේපී ඩුමිනි 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා ධනංජය ද සිල්වාගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබා දී දැවී ගියා.

විලියම් මල්ඩර් ලකුණු 02ක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමෙන්.

සියළු ක්‍රීඩකයින් ඉතා අඩු ගණනකට දැවී යද්දී නායක ක්වින්ටන් ඩි කොක් සිය කණ්ඩායම පරාජයේ අවමානයෙන් බේරා ගැනීමට දැඩි උත්සහයක යෙදුණත් එය සාර්ථක වූයේ නැහැ.

ලකුණු 54ක් ලබා සිටි ඔහු අකිල ධනංජයගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා.

ඇන්ඩිලේ ෆෙලුක්වයෝ ලකුණු 3කට දැවී ගියේ ද අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල වෙත උඩපන්දුවක් ලබා දෙමින්.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුළු 8ක් මෙලෙස දැවී ගියේ ඔවුන් ලකුණු 100 සම්පූර්ණ කිරීමටත් පෙරයි.

ඊයේ තරගයේ සිය 06 වැනි කඩුල්ල ලෙස අකිල ධනංජය දවා ගත්තේ කේෂව් මහරාජ්ගේ කඩුල්ලයි.

ලකුණු 8ක් ලබා සිටි ඔහු උඩ පන්දුවක් ලබා දුන්නේ සුරංග ලක්මාල් අතටයි.

තරගයේ අවසාන කඩුල්ල දැවී ගියේ ළහිරු කුමාර යැවූ පන්දුවකට ජූනියර් ඩාලා එල්ල කළ පහර, ධනංජය ද සිල්වා විසින්  ඉතා දක්ෂ ලෙස රැක ගැනීමෙන්.

ඩාලා ලකුණු 5ක් ලබා සිටියා.

අනෙක් අන්තයේ නොදැවී සිටි කාගිසෝ රබාඩා තරගය අවසන්වන විට ලබා සිටි ලකුණු ගණන 12ක්.

25  වැනි පන්දුවාරය අවසන් වීමටත් පෙර දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියළු දෙනා දැවී යද්දී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 121ක්.

ශ්‍රී ලංකාව ලකුණු 178කින් ජය ගත්තේ ඒ අනුවයි.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුළු 06ක්, ළහිරු කුමාර කඩුළු 02ක්, සුරංග ලක්මාල් සහ ධනංජය සිල්වා කඩුළු 1 බැගිනුත් ලබා ගත්තා.

දෙපිළ අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 තරගය අනිද්දා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඊයේ තරගය ආරම්භයත් සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය සුවිශේෂී කඩයිමක් පසුකර ගියා.

මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 100 වැනි දිවා රාත්‍රී තරගය ලෙසයි ඊයේ තරගය ඉතිහාසගත වන්නේ.

එමෙන්ම එම කඩයිම පසුකර ගිය ලෝකයේ 4 වැනි ක්‍රීඩාංගණය බවට ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණට ඊයේ දින වාර්තා පොත් අතරට එක්වන අතර වැඩිම දිවා රාත්‍රී තරග ගණනක් පවත්වා ඇති ක්‍රීඩාංගණ ලැයිස්තුවෙහි ද ප්‍රේමදාස ක්‍රීඩාංගණය පසුවන්නේ 4වැනි ස්ථානයේ.

වැඩිම දිවා රාත්‍රී තරග ගණනක් පැවැත්වුණු ක්‍රීඩාංගණය ලෙස එම තරග 149ක් පවත්වා ඇති සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය පළමු ස්ථානයේ පසුවන අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ දිවා රාත්‍රී තරග 112ක් පවත්වා ඇති සාජා ක්‍රීඩාංගණයයි.

තරග 105ක් පවත්වා ඇති මෙල්බර්න් ක්‍රීඩාංගණය තෙවැනි ස්ථානයේ පසුවනවා.


gossip lanka