gossip lanka

මගී අවශ්‍යතාව අනුව බස් ධාවනයට හමුදාව සූදානමින්

දුම්රිය වැඩවර්ජනය අවසන් වන තුරු දුම්රිය මගීන්ට වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ  ගමන් කිරීමට රජය අවසර ලබාදී තිබේ.

අද (09) දිනයේ උසස් පෙළ විභාගය සඳහා පෙනි  සිටින සිසුන්ට යුධ හමුදාව විසින් විශේෂ හමුදා බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වැටුප් විශමතාවට විසදුම් ලබා නොදීමට විරෝධය
පළ කරමින් දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (08) පස්වරු 3.00 සිට හදීසි වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ පස්වරු 3.00න් පසු ධාවනය වීමට තිබූ කිසිදු දුම්රියක් ධාවනය නොවූ අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියේය.

දුම්රිය නොමැතිවීමත් සමග කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලට රැස්ව සිටි මගීන් විරෝධතා වල නිරත වූණා.

එහිදී මගීන් කලහකාරී ලෙස හැසිරුණු අතර කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ගමනාගමයටද බාධා එල්ල වන අයුරින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අතර දුම්රිය ස්ථාන වල දේපළ වලටද හානි සිදුකරනු ලැබීය.

විරෝධතාවල නිරත වූ මගීන් සදහන් කලේ පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය වර්ජනයක් සිදුකිරීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.

ඊයේ රාත්‍රිය වන තුරුම කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වල මගීන් රැදී සිටි අතර දුම්රිය ස්ථාන වල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාවද යොදවනු ලැබීය.

කොළඹ කොටුවේ සිට මාතර දක්වා ඊයේ රාත්‍රී දුම්රියක් ධාවනය කිරීමට  කටයුතු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව විසින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර, දුම්රිය ස්ථාන වල රැදී සිටි මගීන් සිය ගම්බිම කරා රැගෙනයාමට කටයුතු කළේය.

යුධ හමුදාව සඳහන් කලේ අද දිනයේත් මගීන්ගේ අවශ්‍යතා අනුව අවශ්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට සූදානමින් සිටින බවයි.

මේ අතර විශ්‍රාමික දුම්රිය රියදුරන්ට අද උදෑසන 6.00ට පෙර දුම්රිය මූලස්ථානයට වාර්තා කරන ලෙස රජය ඉල්ලීමක් කර තිබිණි.

දුම්රිය වැඩවර්ජනය අවසන් වන තුරු මාර්ග අවසර පත් නොමැතිව ඕනෑම මාර්ගයක බස් රථ ධාවනයට පෞද්ගලික බස් රථ වලට අවසර ලබාදී ඇති බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

සිය වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් ස්ථීර විසදුමක් ලැබෙන තුරු ආරම්භ කර ඇති වැඩ වර්ජනය අත් නොහරින බව වර්ජනයේ නිරත වෘත්තීය සමිති පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කලේ සිය ගැටලුවට විසදුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත් පිළිගත් සම්ප්‍රදායන් නොතකා හැර කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හදීසියේම දුම්රිය සේවකයින් ගත් ක්‍රියාමාර්ගය රජය දැඩි සේ හෙලා දකින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

වැඩවර්ජනය අවසන් කර සාකච්ඡා  මාර්ගයෙන් ගැටලුව විසදා ගැනීමට ඉදිරිපත්වන ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කළේය.



gossip lanka