gossip lanka

ත්‍රිරෝද රියදුරු වයස් සීමා නීතියට මංගල එරෙහිවේ !

ත්‍රිරෝද රථ සඳහා අලුතින් ක්‍රියාත්මක කරන ලද අවම වයස් සීමාවට තමන් පෞද්ගලිකව විරුද්ධ බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

''35 වැඩි අයකට ත්‍රිරොද පදවන්නට හැකි විදියට ගෙනාපු නීතියට මම විරුද්ධයි. මම ඉල්ලීමක් කළා මේක 25 දක්වා අඩු කරන්න කියලත්. කෙනෙකුට රස්සාවක් කරන්න තියෙන අයිතියට අපි ඉඩ දෙන්න ඕනෙ.‘ යැයි අමාත්‍යවරයා කියා සිටියේ, ඊයේ (18) මාතර උයන්වත්ත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, ත්‍රිරෝද රථ සඳහා අලුතින් ක්‍රියාත්මක කරන ලද අවම වයස් සීමාව දැනට බලපත්‍ර ලබා සිටින ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා අදාළ නොවන බවයි.

මගීන් ප්‍රවාහනය කිරීම සඳහා ත්‍රිරෝද වෙනුවෙන් බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයන්ගේ අවම වයස අවුරුදු 35 සම්පූර්ණ විය යුතු බවට නීතිගත කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ වනවිට බලපත්‍ර ලබා සිටින කිසිවකුට එය අදාළ නොවන බව ද ඉදිරියේ දී අලුතින් බලපත්‍ර ලබාගන්නා පුද්ගලයන්ට පමණක් අදාළ වයස් සීමාව වලංගු වන බව ද කියා සිටී.

''කුලී රථ සඳහා පමණක් මෙම නීතිය වලංගුයි ''

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ශ්‍රවාණාගාරයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ නිවෙස්වල ප්‍රයෝජනය සඳහා ත්‍රිරෝද රථ භාවිත කරන පුද්ගලයන්ට ද මේ නීතිය අදාළ නොවන බවත් කුලී රථ සඳහා පමණක් එම නීතිය වලංගු බවත්ය.

සෑම ත්‍රිරෝද රථයක් සඳහාම මීටරයක් සවි කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා මීටර් සවිනොකර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය සතු බව ද ත්‍රිරෝද රථ වෙනුවෙන් ප්‍රමිතියක් සකසා තිබෙන බව ද පැවැසීය.
gossip lanka