gossip lanka

දකුණු පළාතට බසුත් නෑ රියදුරොත් නෑ කොන්දොස්තරලත් නෑ

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 11ක බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 103 දෙනෙකුගේ පමණ සේවක හිඟයක් පවතින අතර ගාල්ල හා අකුරැස්ස ඩිපෝවලට මෙම සේවක හිඟය දැඩිව බලපා ඇත.

බස් රථවල මෙන්ම ඇතැම් ඩිපෝවල කාර්මිකයින් ගේ හා බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ සේවක හිඟයක් පවතින බව සඳහන් කරන ශ්‍රී ලංකා ගමනා ගමණ මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රධාන
ප්‍රාදේශීය කළමණාකරු වසන්ත විරසිංහ මහතා කියා සිටියේ කෙතරම් ගැටලු පැවතියද මගී ජනතාවට හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා කටයුතු කරන බවයි.

වසර පහක් පැරණි බස් රථ අබලන්වී ඇති බව පවසන ඒ මහතා එම බස් රථ අලුත්වැඩියා කරමින් ධාවන කටයුතු සඳහා යොදා ගන්නා බවද සඳහන් කළේය. එහෙත් හදිසි ආපදාවට ලක්වන බස් රථ වෙනුවට එම මාර්ගවල ධාවනය කිරීම සඳහා බස් රථ නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

"ශ්‍රී ලංගමය පමණක් නෙවෙයි රුහුණු ප්‍රාදේශිකයත් වසර 43කට පසුව ලාභ ලැබුවේ මේ වසරේ. බස් රථ රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ ගැටලු තිබුණත් අපි මගී ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දෙනවා. පසුගිය කාලයේ අලුතෙන් බස් රථ 52ක් විතර රුහුණු ප්‍රාදේශිකයටත් ලැබුණා. නමුත් අපට තවත් අලුතෙන් බස් රථ 100ක් විතර අවශ්‍ය වෙනවා. පැරණි බස් රථ අලුත්වැඩියා කරගෙන ධාවනය කරනවා.තනි දොරේ බස් රථවල තමයි හිඟයක් තියෙන්නේ. ශ්‍රී ලංගම සේවකයින්ගේ ප්‍රසාද මුදල අපි රුපියල් 5000 දක්වා වැඩි කළා. දැන් රුහුණු ප්‍රදේශිකය මගින් සේවකයින්ට නියම වෙලාවට වැටුප් ගෙවනවා. ආර්ථ සාධක අරමුදලට නියම අයුරින් මුදල් බැර කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා කරන මඟ පෙන්වීම අගය කළ යුතුයි"යැයි වසන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

සුනෙත් ගාල්ලගේ - ගාල්ල


gossip lanka