gossip lanka

නිමල් කෝච්චියට කපටි ආරක්ෂකයින් යොදයි

දුම්රිය මැදිරි ඇතුළත වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද (02දා) සිට සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුරගමන් සේවා සඳහා යොදාගන්නා දුම්රිය වලට යෙදවීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

මෙහිදී යම්කිසි අයකු මෙම විනාශකාරී ක්‍රියාවන් වල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමටත්, සිදුවු අලාභය
අයකරගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින් යුතු විශේෂ දුම්රිය අද (02දා) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත්කිරීමට සංවිධානය කර තිබු උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් හෙතෙම කියා සිටී.

වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මේ වන විට දුම්රිය මැදිරි 25 ක් නවීකරණය කොට ධාවනය සඳහා යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එක් මැදිරියක් නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර මෙවැනි මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් පමණ වැයවෙයි.

රජය කිසිවිටක දුම්රිය සේවාව පෞද්ගලිකරණය කිරීමට කටයුතු නොකරන බවත් දුම්රිය සේවාව තව දුරටත් පාඩු පිට පවත්වාගෙන යා නොහැකි හෙයින් විකල්ප වැඩ පිළිවෙලක් රජය ආරම්භ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

gossip lanka