gossip lanka

කරාපිටියේ ඒ.සී. කැඩිලා : හෘද සැත්කම් නවත්වයි !

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ අක්‍රියව ඇති මධ්‍යම වායුසමීකරණ පද්ධතිය මෙතෙක්‌ අලුත්වැඩියා නොකිරීම නිසා හෘද සැත්කම් සිදුකිරීමට නොහැකිව එම ඒකකයේ ප්‍රධාන හෘද හා උරස්‌කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්වීමට තීරණය කර ඇත.

කරාපිටිය රෝහලින් හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා රෝගීන් තුන්දහසකට ආසන්න පිරිසක්‌
පොරොත්තු ලේඛනයේ සිටින බවද වාර්තා වේ.

හෘද රෝගීන් සැත්කම්වලට ලක්‌ කිරීමෙන් පසු ඇතුළත් කරනු ලබන්නේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයටයි. මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වීම නිසා එම රෝගීන්ට නිරන්තරයෙන් විෂ බීජ ආසාදනය වන බැව් එම ඒකකයේ ආරංචි මාර්ග පවසයි.

දැනට මෙම දැඩිසත්කාර ඒකකයේ සාමාන්‍ය වායුසමීකරණ පද්ධතියක්‌ ක්‍රියාත්මක වන අතර ඒවා ප්‍රමාණවත් නොවන බවද පැවසේ.

හෘද රෝගීන් දරුණු විෂ බීජවලට ලක්‌වීමට ඉඩ:

මෙහි ශල්‍යාගාරයේ ප්‍රමිතියට වායුසමීකරණ පද්ධතියක්‌ නොමැති අතර මේ නිසා සැත්කම්වලට ලක්‌ කළ හෘද රෝගීන් දරුණු විෂ බීජවලට ලක්‌වීමට ඉඩ ඇත.

දරුණු විෂ බීජ ආසාදනයට ලක්‌වීමෙන් සති දෙකකට වරක්‌ එක්‌ රෝගියකු පමණ මිය යන බවද එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය නිසා හෘද හා උරස්‌ කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම්වලට භාජනය කරනු ලබන්නේ වෙනත් සංකුලතා නොමැති ශක්‌තිමත් හෘද රෝගීන්ය.

එවැනි රෝගීන්ට තද උණ වැළඳුණු අවස්‌ථා තිබෙන අතර මේ වන විටත් සැත්කමට ලක්‌ කළ හෘද රෝගියකු විෂ බීජ ආසාදනය වීමෙන් තද උණ වැළඳී දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙහි වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා කරදෙන ලෙස අවස්‌ථා ගණනාවකදී සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එය ඉටුවී නැත.

තම ජීවිත ආරක්‍ෂාව ගැන සිතා හදිසි කටයුත්තක්‌ ලෙස සලකා මෙම වායුසමීකරණ පද්ධතිය සකස්‌ කරදෙන ලෙස හෘද රෝගීහුද සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ටෙන්ඩර් ප්‍රශ්නය අමාත්‍යංශයට යොමුකරලා :

මේ පිළිබඳ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.

''හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වෙලා තියෙනවා. මේ ගැන නාමල් ගමගේ වෛද්‍යතුමා මට ලිඛිතවත් දන්වලා තියෙනවා. ඔහු මා හමුවී මේ ප්‍රශ්නය ගැන කීවා.

වායුසමීකරණ පද්ධතියේ අලුත්වැඩියා කිරීම ප්‍රමාද වීම නිසා ලබන සඳුදා සිට හෘද සැත්කම්වලින් ඉවත්වන බව ඔහු කීවා. මෙය අලුත්වැඩියා කරන්න ටෙන්ඩර් කැඳවලා තියෙනවා. නමුත් මේ සඳහා මිලියන ගණනාවක්‌ වැයවෙනවා.

එම සීමාව ඉක්‌මවා ගිහින් තියෙන නිසා අමාත්‍යාංශයට යොමු කරලා තියෙනවා. අනුමැතිය ලැබුණ ගමන් අලුත්වැඩියා කටයුතු පටන් ගන්නවා.''

(දිවයින)


gossip lanka