gossip lanka

සන්නිවේදන ජාල අවහිර කිරීම ගැන හරීන් විරුද්ධයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන ජාල අවහිර කිරීම ප්‍රායෝගිකව කළහැකි දැයි යන්න ගැටලුවක් බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය
ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා එම මධ්‍යස්ථාන ආශ්‍රිත සියලු සන්නිවේදන ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ඒ අනුව ශාලාධිපතිට හැර අනෙක් කාර්යෙමණ්ඩලයටද බලපැවැත්වෙන පරිදි මෙම සන්නිවේදන උපාංග අක්‍රිය කිරීමේ ක්‍රමවේදයක් සක්‍රිය කිරීමට නියමිත බවත් විභාග දෙපාර්තමේන්තුව පවසා තිබුණි. මේ සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසුවේ දුරකථන සංඥා අවහිර කිරීම පිළිබඳ තමාව දැනුවත් කර නොමැති බවයි.

කෙසේ නමුත් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන රාශියක් පිහිටා ඇති බැවින් එම මධ්‍යස්ථාන ආශ්‍රිත සන්නිවේදන ජාල අවහිර කිරීම කළ නොහැකි බවත්, සන්නිවේදන ජාල අවහිර කිරීමට විශාල මුදලක් වැයවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බන්ධනාගාර ආශ්‍රිතව සන්නිවේදන උපාංග අක්‍රිය කර ඇති බැවින් එම ස්ථානවලින් ගමන් කරන ජනතාවගේ දුරකථන පවා අවහිර වන බව පැවැසූ ඒ මහතා ව්‍යාපාර ආදී කටයුතු සඳහා මෙමගින් විශාල බලපෑමක් ඇතිවිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් විභාග අක්‍රමිකතා වැළැක්වීම සඳහා දරුවන්ව හොඳින් පරීක්ෂා කර විභාග ශාලාවලට ඇතුළත් කර ගැනීමට අවධානය යොමු කිරීම වඩාත් සුදුසු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.




gossip lanka