gossip lanka

කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඩුවම අනිවාර්යයි- මහින්ද

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන තෙවැනි වැඩපිළිවෙල වන “වැව් දහසක් - ගම් දහසක්” සංවර්ධන වැඩසටහන ඊයේ (12) දින නිකවැරටිය මහගිරිල්ල ගල්කඩවලදී ආරම්භ විය.

මේ යටතේ කුඩා වැව් 370 ක් පළමු අදියරයේදී සංවර්ධනය කෙරෙන අතර සමස්ත වැඩපිළිවෙල
සඳහා වැයවන මුදල රුපියල් මිලියන 9000කි.

මෙම අවස්ථාවට එස්.බී. නාවින්න, ඉන්දික බණ්ඩාරනායක, යන මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

“අපි වවලයි - අපි කන්නේ” වැඩපිළිවෙල යටතේ කොස් පැළ දස ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය කොස් පැළ වගා කිරීමේ කටයුතු මෙහිදී ආරම්භ කළ අතර මෙම වැඩසටහනට සමගාමීව ඊයේ දින දිවයින පුරා වැව් 300කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීමද ආරම්භ විය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

"වත්මන් රජය තරම් කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබාදුන් වෙනත් රජයක් නෑ. “වැව් දහසක් - ගම් දහසක්” වැඩසටහන යටතේ රු.මි. 9000ක්, ගරු ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙල යටතේ වැව් සංවර්ධනය රු.මි. 12,000ක් සහ ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ ගම්මාන සංවර්ධනය කිරීමට රු.මි. 65,000ක මුදලක් මෙම වසර තුළ ලබා දුන්නා".

"ඒ වගේම මේ රටේ අපරාධ රැල්ලක් තියෙනවා කිව්වට එහෙම දෙයක් නෑ. හිරේ ඉන්න නම ගිය කුඩු ජාවාරම්කරුවන් කීපදෙනෙක් බන්ධනාගාර තුළම හිඳිමින් කුඩු ජාවාරම් කරනවා. ඔවුන්ට මරණ දඬුවමට ලබාදීමට ජනාධිපතිතුමා කළ යෝජනාවට සමස්ත අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව අනුමැතිය දුන්නා. එමෙන්ම එම තීරණයට එරෙහිව මේ වන විටත් යම් යම් පාර්ශව කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා නොදෙන ලෙස ඉල්ලමින් විවිධ මතවාද දැනටමත් සමාජය තුළ ප්‍රචාරය කරනවා. නමුත් මේ රටේ තරුණ ජනතාව කුඩු වසංගතයට නතුකොට ඔවුන් නිදහස් කිරීමට කටයුතු කළ කුඩු ජාවාරම්කරුවන්ගෙන් රටට ලැබුණේ මොනවද?. කවුරු කුමන අදහස් ප්‍රකාශ කළත්, රජය ගත් තීරණය කිසිසේත් ආපසු වෙනස් කරන්නේ නෑ. කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා" යැයි පැවසීය.


gossip lanka