gossip lanka

පසුගිය වසරේ අඩුවෙන් ඉපදිලා වැඩියෙන් මැරිලා

2017 වසරේ සජීවී උපත් සංඛ්‍යාව 2016ට සාපේක්ෂව 5,021කින් අඩුවී ඇති බවත්, 2017 වසරේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2016ට සාපේක්ෂව 9,057කින් වැඩිවී ඇති බවත්, 2017 වසරේ කර ඇති විවාහ සංඛ්‍යාව 2016ට සාපේක්ෂව 4,625කින් පහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එම වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි 2017දී සජීවී දරු උපත් 326,052ක් සිදුවී ඇත. ඉන් 165,926ක් පිරිමි දරු උපත් වන අතර, 160,126ක් ගැහැනු දරු උපත්ය.

ස්ත්‍රී උපත් සියයකට සිදුවන පුරුෂ උපත් සංඛ්‍යාව හෙවත් ප්‍රමිතිරි අනුපාතය 103.6ක් ලෙස 2017දී සටහන්ව ඇත. එය 2016දී 104.5ක් විය.

ජනගහනයෙන් දහසකට සිදුවන දළ උපත් අනුපාතය 2016දී 15.6ක් වූ අතර එය 2017දී 15.2 තෙක් පහළ ගොස් ඇත.

2017දී කර ඇති විවාහ සංඛ්‍යාව 169,365කි. ඉන් 147,238ක් සාමාන්‍ය නීතිය යටතේද, උඩරට නීතිය යටතේ විවාහ 386ක්ද, මුස්ලිම් නීතිය යටතේ විවාහ 21,741ක්ද කර ඇත.

2016දී සාමාන්‍ය නීතිය යටතේ විවාහ 152,033ක්ද, උඩරට නීතිය යටතේ විවාහ 491ක්ද, මුස්ලිම් නීතිය යටතේ විවාහ 21,466ක්ද කර තිබේ.

2017දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 139,822කි. ඉන් 77,206ක් පුරුෂයන් වන අතර, 62,616ක් ස්ත්‍රීන්ය.

ජනගහනයෙන් දහසකට සිදුවන දළ මරණ අනුපාතිකය 2016දී 6.2ක්වූ අතර එය 2017දී 6.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

රාජ්‍ය සේවකයන් 1,50,009ක් අවිවාහකයි

සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් 150,009ක් අවිවාහක යැයි ද රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් පිළිබඳ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

එය සමස්ත රාජ්‍ය සේවකයන්ගේ ප්‍රතිශතයක් ලෙස 13.5%කි. ඉන් 81,418 දෙනකු පිරිමි වන අතර 68,591 දෙනකු ස්ත්‍රීන්ය.

 (මව්බිම)
gossip lanka