gossip lanka

විශාකාවට හොරටගත් සිසුවියන් ඉවතට

කොළඹ විශාකා විදුහලට අවිධිමත්ව ඇතුළත් කළ අනධ්‍යයන සේවකයන්ගේ ළමුන් 2 ක් ඉවත් කර ඇති අතර, ඊට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව මේ වන විට විනය පියවර ගනිමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්  ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ සිට විවිධ මට්ටම්වල නිලධාරීන්ගේ ළමුන් 75 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කොළඹ ප්‍රධාන ජනප්‍රිය ජාතික
පාසල්වලට අවිධිමත්ව ඇතුළත් කර ඇති බවද හෙතෙම කියා සිටී. තවද ඉහත දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පමණක් නොව විශාකා විදුහලට මෙන්ම අනෙකුත් පාසල්වල ද මෙලෙස අවිධිමත්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ බලය උපයෝගී කරගෙන ඇතුළත් කළ දරුවන් සිටීම සම්බන්ධයෙන් වහා විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාළ ක්‍රියාමාර්ග ගත යුතු ලේකම්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එස්.සී.එෆ්.ආර් 232/2011 සහ 235/2011 යන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම්වලට අදාළ තීන්දු ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලද්දේ 2016 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 කට සීමා විය යුතු බවයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය 34/2015 චක්‍රලේඛය නිකුත් කරමින් 2016 වසරේ ළමුන් 40 සිට ක්‍රමයෙන් වසරකට එක් ළමයෙකු බැගින් අඩු කරමින් 2021 වසරේදී ළමුන් 35 විය යුතු බව තීරණය කරන ලදී.

ඒ අනුව 2016 වසරේ ළමුන් 40 ක් ද, 2017 වසරේ ළමුන් 39 ක් ද, 2018 වසරේ 38 ක් ද වශයෙන් 1 ශ්‍රේණිය පන්තියක සිටිය යුතු අතර එම ඇතුළත්වීම්වලට අනුව 2018 වසරේ 3 ශ්‍රේණිය පන්තියක 40 ක් සහ 2 ශ්‍රේණිය පන්තියක ළමුන් 39 ක් වශයෙන් සිටිය යුතුය.

නමුත් මේ වන විට බොහෝ ජනප්‍රිය පාසල්වල පළමු වසරේ විධිමත් සීමාවෙන් ළමුන් ඇතුළත් කර ඉන් අනතුරුව 2 ශ්‍රේණියේ සිට මෙම සීමාව ඉක්මවා ළමුන් ඇතුළත් කිරීම සිදුවෙමින් තිබේ. මේ තත්ත්වය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට අදාළව නිකුත් කළ 34/2015 චක්‍රලේඛය උල්ලංඝණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනිව 1, 2, 3 ශ්‍රේණි පන්තිවල ළමුන් සිටීම පිළිබඳව ඉහත පරීක්ෂණයට සමගාමීව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටී.




gossip lanka