gossip lanka

සිහි මද කළමනාකරු ගැන කණිෂ්ඨ මලල ක්‍රීඩා තරු කනස්සල්ලෙන්

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අනිල් වීරසිංහගේ ක්‍රියා කලාපය හේතුවෙන් ලබන 5 වැනිදා ඇරඹෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවයකට පත් වී තිබේ.

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන පාසලක ශාරීරික අභ්‍යාස උපදේශක ලෙස කටයුතු කරන අනිල් වීරසිංහ මීට පෙරත් ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා
කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කර තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ ක්‍රියා කලාපයන් පිළිබඳ දැඩි විවේචන එල්ල විය.

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට  ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් සුගතදාස  ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනයේදී එම ස්ථානයට පැමිණීම පවා මඟ හැර තිබෙන වීරසිංහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම නේවාසික පුහුණුව සඳහා නේවාසිකගාර වලට පැමිණි අවස්ථාවේ දෙමව්පියන් හමුවට පැමිණීමද මඟ හැර තිබේ.

වගකිව යුතු නිලධාරියෙකුට කිසිසේත්ම නොගැලපෙන අයුරින් බීමත්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවට පැමිණීම පිළිබඳව පසුගිය කාලය පුරාම වීරසිංහට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ අතර මෙවරද ක්‍රියාකලාපයෙහි කිසිම වෙනසක් සිදු නොකරමින් තම හිතුමනාපයට ඔහු කටයුතු කරමින් සිටියි.

එයට ආසන්නනම උදාහරණය පසුගිය සඳුදා සවස දක්නට ලැබුනේ පුහුණුවීම් අවසන් කර දැඩි වෙහෙසමහන්සියකින් යුතුව නේවාසිකාගාරය වෙත පැමැණි ක්‍රීඩකයන් කිහිප දෙනකුට නැවත පැමිණීමට පමා වූ බවට චෝදනා කරමින්  බැන වැදීමට වීරසංහ කටයුතු කිරීමක් සමඟිනි. එමෙන්ම පසුගිය කාලය පුරාම කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සමීපව වැඩ කරමින් ඔවුන්ගේ ගෞරවට පාත්‍රව ඇති නිලධාරීන් පිරිසකටද දැඩිව චෝදනා කරමින් ඔවුන්ටද බැන වැදී ඇති වීරසිංහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් පවසන ආකාරයට කටයුතු කල යුතු බවට තර්ජනය කර තිබේ මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම වාරණය කර තිබෙන බවක්ද දැන ගන්නට තිබේ.

එමෙන්ම මලල ක්‍රීඩා සංගමයෙන් නම් කඑ ඇති කණ්ඩායම් නිලධාරීන් ඉවත්කොට තමාට හිතවත් පිරිසක් කණ්ඩායම් නිලධාරීන් ලෙස නම් කර මලල ක්‍රීඩා සංගමය වෙත ලිපියක් ලබා දී තිබේ.

මෙම තරගාවලියට අමතරව කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම තවත් ජාත්‍යන්තර තරගාවලි දෙකකට (ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි, ජපානය - ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය, ෆින්ලන්තය) සහභාගීවීමට නියමිත අතර කණ්ඩායම් කළමණාකරුගේ භාෂා නිපුනතාව කණ්ඩායම සාර්ථකව මෙහෙයවීමට පිටුවහලක් හා සෘජු බලපෑමක් එල්ල කරයි. නමුත් මෙම නිළධාරියාගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ නිපුණත්වය ඉතා පහළ ස්ථානයක පැවැතීම හේතුවෙන්, කණ්ඩායමේ අවශ්‍යතාවක් හෝ සංවිධායකයන්ට දැන්වීමේ අවස්ථාව අහිමිවේ. ඒ හේතුවෙන්, පදක්කම් ගිලිහී යාමේ අවස්ථා ද එමටය.

අවසන් වරට 2013 වසරේ ඉන්දියාවේ රංචි හීදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කලේ අනිල් වීරසිංහ වේ. එම තරගාවලියේදී ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබූ රන් පදක්කමක් අහිමි විය.

ඉසව්වන් දෙකකට එකම ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩකාවක සහභාගි වන අවස්ථාවක ඒ පිළිබඳව සංවිධාකයන් දැනුවත් කිරීම කළමනාකරුගේ වගකීම වුවත් එය කොයි ආකාරයෙන් කළ යුතුද යන්න හෝ නොදැන සිටි ශ්‍රී ලංකා කළමණාකරු හේතුවෙන් දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වාට එම ඉසව්වට සහභාගි වන වේලාවේදීම මීටර් 4x100 සහාය දිවීමේ ඉසව්වටත් සහභාගි වීමට සිදු වූවාය. නමුත් ඇය මීටර් 100/4 ඉසව්වට සහභාගි වී නැවත පැමිණ තරගයට සහභාගීවීමට සිදුවීමෙන් උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූවාය. ඒ හේතුවෙන්, නියත රන් පදක්කම වෙනුවට ඇයට හිමි වූයේ ලෝකඩ පදක්කමයි.

ඉන්පසු අවස්ථාවක දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් වීමේ උත්සාහකද නිරත වූ වීරසිංහට එම අවස්ථාව අහිමි වී ගියේ පළාත් නවයේම ක්‍රීඩා අධ්‍යක්ෂකවරුන්ගේ විරෝධතාව හේතුවෙනි.

එවැනි පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතය බාර දීම කුමන අරමුණකින් සිදු කරන ලද්දක්දැයි ගැටලූවකි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම මලල ක්‍රීඩා පරිපාලනයද මහත් බලාපොරොත්තු තබා තිබෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට දින කිහිපයක පමණක් ඉතිරිව තිබියදී එම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය බිඳ දමමින් කටයුතු කරන කළමනාකරුවකු පත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පදක්කම් සටහනට දැඩි බලපෑම් එල්ල විය හැක.


gossip lanka