gossip lanka

පන්ති භාර ගුරුවරයාගේ රියට යට වී මියගිය පහ වසරේ සිසුවිය

පසුගිය 27 වැනිදා සූරීයවැව සිදුවූ රිය අනතුරකින් අෂිනි සත්සරණි නමැති වයස අවු. 10ක දැරියක් මියගියාය.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ අෂිනි සන්සරණි වැඩිමලායි සුරියවැව ජාතික පාසලේ පහ වසර D පත්තියේ ඉගෙනුම ලැබූ ඇය ඉගැනුමටද ඉතා දක්‍ෂ වූවාය. 2008 වසරේ උපත ලබා තිබුණු අතර එක් දිනක්වත් නෑර පාසල් යාම පුරුද්දක් විය. එදා 27 වැනිදා උදෑසන පුංචි අෂිනි පාසලේ පැවැත්වීමට
නියමිතව තිබූ ශීල ව්‍යාපාරයට යෑමට සැරසුණේ ‍වෙනදා මෙන් නොවේ. එදින ඉතා කඩිමුඩියේ චමිල්කා ප්‍රියදර්ශනි වන තමන්ගේ මවට ඇවිටිලි කරමින් ඉල්ලා සිටියේ තමන්ගේ පාසල් නිල ඇඳුමය.

අසංක වලිසිංහ වන පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වූ අතර මවට උදෑසන ඉතා කාර්යබහුල විය. තම මව නිල ඇඳුම් සොයන අතර පුංචි අෂිනි තමන්ගේ ගමන්මල්ල සරසා ගත්තාය.වෙනදාට පාසල් බෑගය රැගෙන ගියත් එදින පාසල් බෑගය වෙනුවට අමතර පන්ති ගෙනයන බෑගය සූදානම් කළේය.
 
බෑගයට දැමූ දෑ අතර ඇය වැඩියෙන්ම බැලුවේ පෙරදා මිලට ගත් වෙසක් කාඩ්පත්ය. ඒවායින් කිහිපයක් තමන්ගේ මිතුරියන් හට ලියා තිබිණි. සියල්ල සූදානම් කර අවසන් කිරීමට ඇයට ගත වූයේ ඉතා කෙටි කාලයකි. මව දහවල් කෑම පතද ඇය අතට ලබාදුන් පසු සිල් සමාදන් වීමට ඉඳගැනීම සඳහා ඉටි කොළයක්ද ගෙනවිත් ඇයගේ බෑගයට දැමීය. මව යතුරුපැදියෙන් ඇය පාසල ‍වෙත ඇරලවීමට ගියේ මාර්ගය ඉතා අනතුරුදායක බව දන්නා බැවිනි.

වෙනදා මෙන් පුංචි අෂිනි පාසලට ඇරලවා නැවත දහවල් ඇය රැගෙන යන්නට පැමිණෙන බවද ඇයට දන්වා නැවත නිවෙසට ඒමට පිටත් වූයේ දරුවන් දෙදෙනා සුරක්‍ෂිත බව තහවුරු වීමෙන් අනතුරුවය. ඒ වනවිට උදෑසන 7.30ට පමණ විය. කාර්යබහුල මාර්ගයක් නොවුණත් සුරියවැව පොළට පැමිණෙන වාහන හේතුවෙන් විටින් විට මාර්ග තදබදය පවතින මාර්ගයකි. අතුරු මාර්ගයක් වන නිසා පාසල් දරුවෝ උදෑසන සහ දහවල් මේ මාර්ගයේ ගමන් කරති.

 එදින දහවල් 1ට පමණ මව පාසලට  ගියේ දරුවන් දෙදෙනාම රැගෙන එන්නට වුවත් පන්ති භාර ගුරුවරයා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ප‍්‍රශ්න පත්‍රයක් කිරීමට ඇති බැවින් ප්‍රමාද වන බවයි.
   
ඒ පිළිබඳව දැනගත් මව බාල දියණිය නිවෙසට ඇරලවීම සඳහා නිවෙසට පැමිණ ඇති අතර ගතවූ සුළු මොහොත කිසිවකුටත් අදහා ගත නොහැකි විය. සවස 1.30ට පමණ අසල්වැසියකු නිවසට පැමිණ කියා සිටි දෙය අෂිනිගේ මවට අදහාගත නොහැකි විය.

ඔහු කියා සිටියේ අෂිනි රිය අනතුරකට මුහුණපා සුරියවැව රෝහලට රැගෙන ගිය බවයි. ඇඳ සිටි ඇඳුම් පිටින්ම ඈ රෝහල වෙත දිව ගියේ තමා රැගෙන එමට නියමිතව සිටි දියණිය තනිව නිවෙසට ආවාද යන්න සිතා ගත නොහැකිවයි. එහෙත් දක්නට ලැබුණේ ලේ විලක් මැද රෝහලේ ඇඳක් මත සිටින තම දියණියයි. ඇයද සිහිසුන්ව ඇද වැටිණි. අසල්වාසියන්ද  දිව ආවේ පුංචි අෂිනිට වූ දෙය සිතාගත නොහැකිවයි. එසේ පැමිණි අයගෙන් පුංචි අෂිනි දෙස බැලු සියලු දෙනා සිදුවූ අනතුර පිළිබඳව විමතිය පළ කළ අතර සිද්ධිය වූ ස්ථානයට ගියේ කුමක් විද යන්න දැන ගැනීමට සිතාය.එහෙත් එම ස්ථානයට ගිය සැම දෙනාම දුටුවේ පුචි අෂිනිගේ ලේ තැවරුණු පාසල් ගෙන ගිය බෑගය සහ පාවහන් යුගල පමණයි.  එහි ගිය අය විමතියට පත් වූයේ පුංචි අෂිනි ගැටුණු රිය පදවා තිබුණේ ඇයගේම පාසලේ පන්ති භාර ගුරුතුමා බව දැනගැනීමෙනි.

අෂිනි පාසල් අවසන්ව මව පැමිණිමට පෙර  නිවෙසට පැමිණියේ පාසලේ සිට නිවෙසට ඉතා කෙටි දුරක් ඇති බැවිනුත් ඇයට අවශ්‍යව තිබුණේ තම බීනු නම් මිතුරියට වෙසක් කාඩ් පතක් ලබා දීමටත්ය. එම නිසා ඇය තවත් යෙහෙළියක්ද සමඟ අතුරු මාර්ගය දිගේ නිවෙස දෙසට පැමිණ ඇත. මේ අතරතුර ඇයට බාල වූ යෙහෙළියට ඇය කියා ඇත්තේ අමිමා ප්‍රමාද වන නිසා අපි යමු කියා එන මඟ බීනුට වෙසක් කාඩ් දීගෙන
යමු කියාය. අෂිනී යෝජනා කළ  අතර, ඒ අනුව ඇයද සමඟ පැමිණි අෂිනි බීනුගේ නිවස අසලට පැමිණි අතර මාර්ගය හරහා යෑමට ඇයටද අඩගසා ඇත. "ඔයාගේ යාළුවානේ ඔයා ගිහින් දීලා එන්න“කියා ඇය පැවැසීමත් සමඟ අෂිනි මාර්ගය හරහා යෑමට උත්සාහ ගෙන ඇත. මඳ දුරක් මාර්ගයේ ගොස් ඇතත් ඇය කිසිදිනක නොදුටු අයුරින් ඒ මොහොතේම එම ස්ථානයෙන් ගමන් කල වෑන් රථයේ ගැටී ඇත. ඒ සමඟ රිය අනතුර දුටු අසල්වාසීන් ඇයව රෝහල වෙත යවා ඇත. එහෙත් අවාසනාවට ඒ වනවිටත් පුංචි අෂිනි මෙලොවින් සමු අරන් ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

මේ සිදුවීම පිළිබඳව ගම්වාසීන් කිසිවක් කතා නොකිරීමට වග බලාගෙන ඇත. ඒ මන්ද කියා සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ රිය අනතුර සිදු කළේ පාසලේ ගුරුවරයකු වීමත් සුරියවැව පවුල්වල දරුවන් විශාල ප්‍රමාණයක් සුරියවැව ජාතික පාසලට යන බැවින් තම දරුවන් ගැන සිතා වීමත්ය. පුංචි අෂිනිගේ අනතුර පිළිබඳව යමක් දැන ගැනීමට ගියත් කිසිවකුත් කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
 
සිදුවිම එසේ වෙද්දී සුරියවැව ගමම හඩවමින් පුංචි අෂිනි සත්සරණි පසුගිය 29දා වෙසක් පෝය ද අවසන් ගමන් ගියාය.සුරියවැව පොලීසියේ ඉහළ නිලධාරියකු කියා සිටියේ රියැදුරා වන සුරියවැව ජාතික පාසලලේ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට පත් කර ඇති අතර මේ මස 30දා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කර ඇති බවයි.
(අවසන් වරට ලියු වෙසක් පතක අෂිනි ලියා තිබුණේ අපි සැමදා යාළුවෝ වෙලා ඉමු යන්නයි)

කෙසේ වුවත් දිනපතා රට පුරා රිය අනතුරු නිසා කුඩා ළමයින් මෙන්ම වැඩිහිටියන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවී යනවා. එයින් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ අපරික්ෂාකාරී ධාවනය නිසා බවත් පාසල් ආසන්නයෙන් සහ මහ මාර්ගවල ගමන් කරන ජිවිත පිළිබඳ නිසි අවධානයකින් රිය ගමන් ගත්තේ නම් මෙවැනි මල් කැකුළු අකලට පරවීම වළක්වා ගැනීමට තිබුණු බව වැඩි දෙනාගේ මතයයි.

වාර්තාව රෝෂන් රාජිත


gossip lanka