gossip lanka

ක්‍රිකට් නිලවරණ හුටපටේ අධිකරණයට !

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන 31 වැනිදා පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

ඒ නිලවරණ අනු කමිටුවක් නොමැතිව ලබා ගන්නා ලද නාමයෝජනා වලංගුවන්නේද යන ගැටලුව මතුවීම නිසාය.

එසේම වත්මන් තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් නිලදාරීන් තෝරා ගැනීම අධිකරණය තෙක් දුරදිග යා හැකි බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප වෙත විශේෂ ලියුම්කරුවකු විසින් කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

අදාළ කරුණු දැක්වීම පහත දැක්වේ.

ෆයිසර් මුස්තාපාගේ අවධානයට !

ක්‍රිකට් නිලවරණය 31දා පැවැත්විය හැකි ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැගී ඇත.

ක්‍රීඩාව පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් හා තමන් කිසිදිනක ක්‍රීඩාවක් කර නොමැති බවත් පවසමින් ක්‍රීඩා අමාත්‍යධූරයේ වැඩ බාරගත් ෆයිසර් මුස්තාපා මහතා ජනාධිපති නීතීඥයකු වුවත් ක්‍රීඩා සංගම්වල නීති රීති හා ක්‍රීඩා පනත පවා හරි හැටි අධ්‍යනය කර නොමැති බවක් පෙන්.

ක්‍රිකට් නිලවරණයේදී ද ඔහු නීතිපතිවරයාගේ උපදෙස් පතන්නේ මේ නිසාය.

මේ මස 31 වැනිදා නියත වශයෙන්ම නිලවරණය පවත්වන බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසද්දී තමන් කිසි විටක නිලවරණ මැයි 31 න් ඔබ්බට ගෙනයාමට ඉඩ නොදෙන බවත් ක්‍රීඩා ඇමතිවරයා පවසයි.

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා දීමේදී ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩා පනතට අනුව තම නිලවරණ අනු කමිටුව නියමිත පරිදි මහාසභා රැස්වීමකදී හෝ විශේෂ මහා සභා රැස්වීමකදී පත්කොට නොමැති බැවින් එම අනු කමිටුව ක්‍රීඩා පනතේ විධිවිධාන වලට පත්කරගන්නා තෙක් නිලවරණය කල් දමන බව ක්‍රීඩා ඇමතිවරයා කියා සිටි අතර ඒ අනුව ලබාදුන් නාමයෝජනා විවෘත නොකරම නිලවරණය කල් දමන ලදී.

එයට අනුව පිළිගත් නිලවරණ අනු කමිටුවක් නොමැතිව ඉදිරිපත් කරන ලද නාම යෝජනා අවලංගු විය යුතුය. එහෙත් ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ එම නාම යෝජනා භාරගෙන ඇති බැවින් අලුතින් නාමයෝජනා ලබාදීම අනවශ්‍ය බවයි.

දෙවනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිල වරණය පවත්වන තෙක් හිටපු නිලධාරී මණ්ඩලයට අතුරු කමිටුවක් ලෙස නම් කරන ලදී.මෙයද නීති විරෝධී වේ.

එයට හේතුව නම් ක්‍රීඩා ඇමතිවරයාට හිටපු නිලධාරීන්ගේ සේවා කාලය නිලවරණය පවත්වන තෙක් දිගු කිරීම මිස ඔවුන් අතුරු කමිටුවක් ලෙස පත් කළ නොහැකිවීමයි.

අතුරු කමිටුවක් පත්කරන්නේ නම් එය ස්වාධීන කමිටුවක් විය යුකු අතර ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝජිතයෙක්ද එයට ඇතුළත් විය යුතුය.

තමන් විසින් වසර දෙකක් මුළුල්ලේ සිදු කරන ලද වරද පිළිගන්නා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ මස 17 දා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවමින් නිලවරණ අනු කමිටුව එදින නෛතිකව පත් කර ගැනීමට යයි. ඉන් පසු මැයි 31 ට දින 14 ඇතුළත සිටිමින් මැයි 31 දා නිලවරණය පවත්වන බව ක්‍රිකට් සභාපතිවරයා පවසයි.

එහෙත් නීත්‍යානුකූල නොවන නිලවරණ අනු කමිටුවක් යටතේ බාර දෙන ලද නාම යෝජනා මේ අනුව අවලංගු විය යුතු අතර 17 දා විශේෂ මහා සභා රැස්වීමේදි පත්කරගන්නා නාම නිලවරණ අනු කමිටුවක් යටතේ නාම යෝජනා කැඳවමින් නැවත දින 14ක දැනුම්දීමක් නිලවරණය පැවැත්වීමට අවශ්‍ය කෙරේ. මේ පිළිබඳ නීපතිවරයාගේද අවධානය යොමුවිය යුතුය.

මීළඟට රන්ජන් රාමනායක ඇමතිවරයා විසින් වත්මන් ක්‍රිකට් සභාපතිවරයාට හා ක්‍රිකට් පාලක මණ්ඩලයට එල්ලකරන ලද දූෂණ චෝදනා හා ක්‍රිකට් සභාපති ධූරය සඳහා තිලංග සුමතිපාල මහතා ඉදිරිපත් විය නොහැකි බවට ගෙනහැර පාන ලද චෝදනා සැලැකිල්ලට ගත යුතුය.

එම චෝදනා මේවන විට අල්ලස් හෝ දූෂණ කොමිසමටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද යොමුකර ඇත.

මෙම චෝදනා ක්‍රීඩා ඇමතිවරයා වෙතද යොමුකර ඇත්නම් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගතයුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාය.

ක්‍රීඩා අමාත්‍යවරයා කමන තීරණයක් ගත්තත් පවතින වාතාවරණය අනුව මෙවර ක්‍රිකට් නිලවරණය අවසානයේ අසාවියේ විභාග වන නඩුවක් බවට පත්වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.

ඒ නිසා නීතිපතිවරයාත් නිතිය දන්නා ක්‍රීඩා අමාත්‍යවරයාත් මේ අවස්ථාවේදී ගනුලබන තීරණ ඉතා වැදගත්වනු ඇත.

ක්‍රිකට් ආයතනයට අතුරු කමිටු පත් කිරීම අලත් දෙයක් නොවේ.

මීට පෙර කිහිපවතාවක්ම අතුරු කමිටු පත්කර තිබේ.

ඒ සෑම අවස්ථාවකදීම එයට හේතුපාදක වූයේ පරිපාලනයේ සිටින්නාවුන්ට එරෙහිව තිබුණු දූෂණ හා අක්‍රමිකතා චෝදනාය.

පසුගිය වකවානුවේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව තමන් දේශපාලන අතගැසීම්වලට අකමැති නිසා අතුරුකමිටු පත් කිරීමට හා වැඩිකල් පවත්වාගෙනයාමට එරෙහිවීම නිසා අතුරු කමිටුවක්වුවද දීර්ඝ කාලීනව පවත්වාගෙනයාමට නොහැකිය.

ෆයිසර් මුස්තාපා මහතා දැනටමත්, අතුරුකමිටුවක් පත්කර නැතත් ජගත් ක්‍රිකට් සමුළුව ඊට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

මෙයින් ගම්‍ය වන්නේ යම්කිසි හේතුවක් සඳහා පත්කරන්නා වූ කෙටිකාලීන අතුරු කමිටුවකට ජගත් ක්‍රිකට් සමුළුවෙන් බාධාවක් නොමැති බවයි.

ෆයිසර් මුස්තාපා මහතා ක්‍රීඩාව නොදන්නා විය හැක. එහෙත් නීතිය ඔහු නොදන්නා විය නොහැක. ක්‍රීඩාව තමන් නොදන්නා හෙයින් ක්‍රීව සම්බන්ධ විශේෂඥයින්ගෙන් තමන් උපදෙස් ලබාගන්නා බවත් මුස්තාපා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

දයාසිරි ජයසේකර මහතාටද ලණු දුන් ක්‍රීඩා අමාතයංශයේ උපදේශකයන්ගෙන් උපදෙස් ගැනීමට යන්නේ නම් මුස්තාපා මහතාට දෙවියන්ගේම පිහිටයි.

ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ක්‍රීඩා සංගම් හා සම්මේලන වැඩි ප්‍රමාණයත සිටින්නේ දුම්මල ගසාවත් එළවිය නොහැකි කුම්භාන්ඩයන්ය.

ක්‍රීඩා අමාතයංශ නිලධාරීන්ද අල්ලාගෙන ක්‍රීඩා ඇමතිවරයාගේ කනෙන් රිංගා යාමේ ශාස්ත්‍රය ඔවුන් මැණවින් ප්‍රගුණ කර තිබේ.

ඒ නිසා මෙම ලිපිය ලියන්නේ ක්‍රීඩාවට නවකයකු වන ෆයිසර් මුස්තාපා නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය පිනිසයි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

gossip lanka