gossip lanka

ජාත්‍යන්තර ගොල්ෆ් තරග 2020 දී ලංකාවේ - ආනා

ජාත්‍යන්තර ගොල්ෆ් තරගාවලි 2020 වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මේවන විට කටයුතු යොදමින් සිටින බව ක්‍රිකට් ලෝක කුසලානය ජය ගන්නාවිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපතිවරයාව සිටි අනා පුංචිහේවා මහතා  කියා සිටියේය.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේද සභාපතිවරයා ලෙස කටයුතු කළ පුංචිහේවා මහතා මේවන විට පෞද්ගලික ව්‍යවසායකයකුගේ ගොල්ෆ්
උපදේශකයා වශයෙන් කටයුතු කරමින් මේ කාර්යට අතගසා ඇති බවද සඳහන් කළේය.

ඒ අනුව දැනට මහනුවර දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටිය ජාත්‍යන්තර මට්ටමට වැඩි දියුණු කරමින් තිබෙන අතර එහි ඉදිකිරීම් තවත් මාස කිහිපයකින් අවසන්වීමට නියමිත බවද පුංචිහේවා මහතා කියා සිටියේය.

එම ක්‍රීඩා පිටියේ 51% ක අයිතිය පවතින්නේ අදාළ ව්‍යවසායකයාට බවද ඔහු හෙළිකර සිටියේය.

මේ වන විට ජාත්‍යන්තර තරගවලට අවශ්‍ය ආකාරයේ තණ පලසක් එහි සකසමින් සිටින බවද කී ඔහු ගොල්ෆ් ජාත්‍යන්තර තරග ලංකාවේ පැවැත්වීම විදේශිකයන්ගේ ආකර්ශනයට විශාල හේතුවක් බවද පැවසීය .

ඔහු මෙසේද කීය.

“ මෙරට සංචාරය කරන සංචාරකයන්ට රට තුළ සහභාගිවිය හැකි විවිධ ව්‍යාපෘති රජය විසින් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම සංචාරක මණ්ඩලය හරහා කියන්නෙ සංචාරකයකු වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් කරුණු 8ක නියැලී සතුටු වෙන්නට අවස්ථාවක් තිබෙනවා කියලයි. අපි දැන් එය නවයක් බවට පත්කරලා තියෙනවා. මේ ගැන සංචාරක මණ්ඩලය දැනුවත් කරලා රටට එන සංචාරකයන්ට තවත් ක්‍රියාවක නියැලීමේ අවස්ථාව ලබාදීමට අපි කටයුතු කළා. එමගින් අපි අපේක්ෂා කරන්නෙ ගොල්ෆ් ක්‍රීඩාව සමඟ සම්බන්ධ වෙන සංචාරකයන් වැඩිදියුණු කරන්න. ඉතින් එය ප්‍රවර්ධනය තමයි මේ අතර සිදුවන්නෙ.”

කෙසේවුවද, ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් තරග පැවැත්වීමට ඇමරිකානු ඩොලර් මිලියන 2ක් 2 1/2ක් පමණ අවශ්‍ය වනු ඇතැයිද, ඒවා දේශීය හා විදේශීය ආයෝජන හරහා සොයා ගනිමින් ශ්‍රී ලංකාවට නව ආයෝජන මාර්ගයක් 2020 දී එක් කරන බව ඔහු සඳහන් කළේය.


gossip lanka