gossip lanka

මහනුවර රෝහලට බාල විකිරණ යන්ත්‍රයක්

මහනුවර ශික්‌ෂණ රෝහලේ විකිරණ අංශයට ගුණාත්මක බවින් අඩු අධි තාක්‌ෂණික එස්‌. සී. ටී. ස්‌කෑන් යන්ත්‍රයක්‌ මිලදී ගැනීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ගෙන යන බවට රජයේ විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්ගේ සංගමය චෝදනා කර සිටී. මෙහි අත්‍යවශ්‍ය විශේෂ අංග අඩු බවද එම සංගමය කියයි.

එම සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා කියා සිටින්නේ මෙම සී. ටී. ස්‌කෑන් යන්ත්‍රය මිලදී ගැනීම
පිළිබඳ තාක්‌ෂණික ඇගයීම් කමිටුවට එම යන්ත්‍ර හසුරුවන විකිරණ තාක්‌ෂණවේදී නිලධාරීන් සහභාගි කර ගෙන නොමැති බවයි. එමෙන්ම මෙම ස්‌කෑන් යන්ත්‍රයට අදාළව පූර්ව ලංසු තැබීමේ අනිවාර්ය විශේෂතා ලේඛනයේ සිදුකර ඇති වෙනස්‌කම්වලට අනුව ගුණාත්මක බවින් අඩු යන්ත්‍රයක්‌ මිලදී ගැනීමේ තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති බවද ඔහු පවසයි.

මෙහිදී සෞඛ්‍ය බලධාරීන් විසින් මිලදී ගැනීමට නියමිත සී. ටී. ස්‌කෑන් යන්ත්‍රයේ තිබිය යුතු උපරිම ධාරිතා අවශ්‍යතාවය (මැක්‌සිමම් කරන්ට්‌ කැපෑසිටි) මයික්‍රො ඇම්පියර් 800 ක ප්‍රමාණය මයික්‍රෝ ඇම්පියර් 600 දක්‌වා අඩු කර ඇති බවත් එම යන්ත්‍රයේ කිලෝවොට්‌ අවශ්‍යතාවය කිලෝ වොට්‌ 100 සිට 80 දක්‌වා අඩු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම මෙම යන්ත්‍ර මිලදී ගැනීම්වලදී සමාගම විසින් අවසාන භාවිතකරු වන විකිරණ තාක්‌ෂණවේදීන් වෙත ලබාදිය යුතු විදේශීය පුහුණුවෙහි ගුණාත්මක බවද අඩු කර ඇති බවත් මෙසේ ගුණාත්මක බවින් අඩු යන්ත්‍රයක්‌ මිලදී ගැනීමට යම් සමාගමක නිෂ්පාදනයක්‌ මිලදී ගැනීම ඉලක්‌ක කර ගෙන සිදු කර ඇති බව පෙනී යන බවත් හෙතෙම සඳහන් කරයි.

එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගුණාත්මක බවින් අඩු විකිරණ යන්ත්‍ර ගෙන ඒම වැළැක්‌වීම සඳහා 2012 වසරේදී විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමේ තාක්‌ෂණික ඇගයීම් කමිටු සඳහා එම යන්ත්‍ර භාවිත කරන විකිරණ තාක්‌ෂණවේදීන්ද සහභාගි කරගත යුතු බවට චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇතත් එය මෙතෙක්‌ ඉටු වී නැතැයි ඔහු සඳහන් කළේය. වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාද මේ සඳහා චක්‍රලේඛයක්‌ නිකුත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස්‌ දී ඇතත් එයද මෙතෙක්‌ ඉටු වී නැතැයි විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කර සිටී.


gossip lanka