gossip lanka

දෙමළ සන්ධානයට වව්නියාවේ බලය අහිමි වෙයි

වවුනියාව නගර සභා පළමු සභා වාරය ඊයේ (16දා ) පැවැත් වූ අතර එම අවස්ථාවේදී  එහි මෙතෙක් එහි  බලය ලබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයෙන් (TNA) එය ගිලිහී ගොස් දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයට (TNLF) එහි බලය හිමිවිය.

දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය (TNLF) මෑතදී පිහිටුවා ගන්නා ලද්දේ වී. ආනන්දසංගරී නායකත්වය දෙන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF ) සහ
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් නායකත්වය දෙනු ලබන EPRLF සංවිධානය සන්ධානගත වීමෙනි.

වව්නියාව නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ EPDP පක්ෂයේ සහයෝගය දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයට (TNLF) ලැබුණි.

ඒ අනුව එම පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද රාසලිංගම් ගෞතම්ට ඡන්ද එකොළහක් ලැබීමෙන් ඔහු අභිනව නගරාධිපතිවරයා හැටියට පත්විය.

දෙමළ ජාතික සන්ධානය විසින් නගරාධිපති පදවිය සඳහා ඉදිරිපත් කරන ලද අපේක්ෂකයාට එම සන්ධානයෙන් තේරී පත්ව සිටින නගර සභිකයන් අටදෙනාගේ සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නියෝජිතයාගේ සහයෝගය ලැබුණ අතර ඔහු ලද මුළු ඡන්ද සංඛ්‍යාව නවයකි.

දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයේ (TNLF) රාසලිංගම් ගෞතම් අභිනව නගරාධිපතිවරයා හැටියට පත්ව සිටියි.

දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයේ (TNLF) රාසලිංගම් ගෞතම් අභිනව නගරාධිපතිවරයා හැටියට පත්විය.

මේ අනුව තනි පක්ෂයක් ලෙස වැඩිම නගර සභික සංඛ්‍යාව හිමි දෙමළ ජාතික සන්ධානයට වව්නියාව නගර සභාවේ පාලන බලය මෙවර අහිමි විය.

මෙතෙක් දීර්ඝ කාලයක් වව්නියාව නගර සභාවේ පාලන බලය හිමිව තිබුණේ එම සන්ධානයටය.

නගර සභාවේ මෙම පළමු සභාවාරය පැවති අවස්ථාවට එම්.ඒ.සුමන්තිරන්, ශිවශක්ති ආනන්දන්, සහ කේ.කේ. මස්තාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

(බීබීසී සිංහල සේවය)


gossip lanka