gossip lanka

මන්දපෝෂණය වැඩිම රටවල් ලැයිස්තුවේ ලංකාවට ලැබුණු තැන මෙන්න

ජනගහනයට සාපේක්ෂව ඉහළම මන්දපෝෂණයක් තිබෙන දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017” වාර්තාවේ සඳහන්ව තිබේ.

වසර 2014 සිට 2016 දක්වා දත්ත පදනම් කරගනිමින් මෙම වාර්තාව සකසා තිබෙන අතර ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ජනගහනයට සාපේක්ෂව සියයට
22.1ක් යැයි එහි සඳහන්ව තිබේ.

ජනගහනයට සාපේක්ෂව වැඩිම මන්දපෝෂණයක් සහිත රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයයි.

වසර 2004 සහ 2006 කාලයට සාපේක්ෂව මේ වනවිට මන්දපෝෂණය සියයට 7.3කින් පහත වැටුණද නවතම වාර්තාවට පදනම් කරගෙන තිබෙන වසර 2014 – 2016 කාලයේදී කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ඉහළ තත්ත්වයක පවතින බව ද මෙම වාර්තාවේ දැක්වේ.

දකුණු ආසියාවේ අඩුම මන්ද පෝෂණය සහිත රට වනුයේ සියයට 8.1ක අගයක් වාර්තා කර තිබෙන නේපාලයයි. ජනගහනයට සාපේක්ෂව මාලදිවයිනේ මන්දපෝෂණය සියයට 8.5ක් වන අතර ඉන්දියාවේ සියයට 14.5ක්, බංග්ලාදේශයේ සියයට 15.1ක් සහ පාකිස්තානයේ සියයට 19.1ක් වන බව ද එහි සඳහන් වේ.

ඇෆ්ගනිස්තානයේ දකුණු ආසියානු කලාපයේ ඉහළම මන්දපෝෂණ ප්‍රතිශතයක් වීමට එරට පවතින යුද ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

දකුණු ආසියානු කලාපයේ මන්දපෝෂණය ප්‍රතිශතයක් ලෙස සියයට 14.9ක් වන බවද මෙම වාර්තාවේ තවදුරටත් දැක්වේ

-Lankadeepa


gossip lanka