gossip lanka

මහනුවර සිද්ධිය ගැන ජනපතිගෙන් නියෝගයක් !

තෙල්දෙණියෙන් ආරම්භවී පැතිර ගිය නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අඟහරුවාදා (මාර්තු 06) වසා දැමීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ අතර තත්ත්වය පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන පොලීසියට සහ ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ.

ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාව වෙත උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් සඳුදා (මාර්තු 05) දහවල් දිගන නගරයේ මුස්ලිම් වෙළෙඳසල් හා නිවාස කිහිපයකට ගිනිතබා විනාශ කර තිබුණි. මුස්ලිම් දේවස්ථානයකට ද පහර එල්ලවී ඇතැයි වාර්තා විය.

ඔවුන් විසුරුවා හැරීම පිණිස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව ද වාර්තාකරුවෝ පවසති.


අදාළ තත්ත්වය හේතුවෙන් මහනුවර දිගන හරහා මහියංගණ මාර්ගයේ වාහන ගමනා ගමනයද ඇනහිට තිබිණි.

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ දෙදරු පියෙකු වන එම්ජී කුමාරසිංහට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (මාර්තු 02) මරණයට පත්විය.

එම සිද්ධියට විරෝධය දැක්වීමට ඉරිදා (මාර්තු 04) රාත්‍රියේ දේපළ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක මත පුද්ගලයින් 24 දෙනෙක් තෙල්දෙණිය පොලීසියේ අත්අඩංගුවට පත්වූහ.

එසේම පොලිසිය පවසා තිබුණේ මේ සිදුවීම්වලට මුල්වූ පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් 4 දෙනෙකු ද බන්ධනාගාරගත කෙරුණු බවය.

මතුවූ තත්ත්වය හමුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුළුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් 'බීබීසී සිංහල සේවය'ට පැවසීය.

නීති කැඩුවොත් දැඩි ක්‍රියාමාර්ග:

මේ අතර නිවේදනයක් නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පෙන්වාදුන්නේ බාධාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසාත්, පවතින තත්ත්වය ප්‍රජාවන් අතර අර්බුදයක් බවට පත්නොවීම සඳහාත් පොලිසිය සීරුවෙන් තබා ඇති බවය.

පූජනීය ස්ථාන, නිවාස හා ව්‍යාපාර ස්ථාන සමහරකට හානි සිදුකළ, අම්පාර සහ දිගන ප්‍රදේශයන්හි මෑතදී සිදුවූ සාමය කඩකළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ නිවේදනය පහත දැක්වේ.
gossip lanka