gossip lanka

ෆේස්‌බුක්‌ ගැටලුවට දින දෙකකින් විසඳුම් !

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල අවහිරය ඉදිරි දින දෙක ඇතුළත විසඳෙනු ඇතැයි ඩිජිටල්, යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 'දිවයින' පුවත්පතට පවසා ඇත.

"ඇතැමුන් සමාජ මාධ්‍ය ජාල අනිසි විදිහට භාවිත කළ නිසයි මේ අවහිරය සිදුකර තියෙන්නේ. නමුත් මේ ගැන මට හරියටම ප්‍රකාශයක්‌ කරන්න බැහැ. විදුලි
සංදේශ නියාමන කොමිසම තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ. කොහොම නමුත් අද (12 වැනිදා) මේ ගැන සාකච්ඡාවක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව අපට දැනුම් දුන්නා."

"මේ අවහිරතාව නිසා බොහෝ දෙනා අපහසුතාවට පත්වෙලා කියලා දන්නවා. නමුත් රටේ අභිමානයට හානිවන දේවල් පළකරන එක වළක්‌වන්නයි මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ," යයි අමාත්‍යවරයා එම පුවත්පතට වැඩිදුරටත් පවසා ඇත.

වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම  වැළැක්වීමට යයි කියමින් සමාජ මාධ්‍ය ජාල අවහිර කරනු ලැබීය.


ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පසුගිය මාර්තු 07 වෙනි දින ආණ්ඩුව තීරණය කළේය.

එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය.

දින කිහිපයක් ඇතුළත (පැය 72ක්) අදාළ අවහිර කිරීම ඉවත් කරනු ඇතැයි ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූ නමුත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුම (සඳුදා උදැසන) තීරණයකට එළඹී නැත.

රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙම තහනම දින තුනක කාලයක් සඳහා සළකා බැලූ බවයි. සෙනසුරාද දිනයේදී එම තහනම ඉවත් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙම මාධ්‍ය වාරණය සම්බන්ධයෙන් කල විමසීමකදී මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුයේ, සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට තමා ප්‍රතිපත්තිමය වශයෙන් කිසිඳු ලෙසකින් එකඟ නැතත්, මේ තීරණාත්මක අවස්ථාවේදී තාවකාලිකව එවැනි පියවරක් ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය අතිශයින් වැදගත් බවත් එය අනුමත කරන බවත්ය.

ශ්‍රී ලංකාව තුල මේ වන විට ක්‍රියාත්මක කර ඇති ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වාරණයට තමන් එකග නොවන බවට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සදහන් කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමතිවරයා එබව සඳහන් කළේය.

මෙවැනි අවස්ථාවක මානව හිමිකම්, මාධ්‍ය නිදහස මෙන්ම, අනිත් අතින් රටේ පවතින තත්වයත් සැලකිල්ලට ගැනීමට සිදුවෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගයෙන් පලදායී ප්‍රතිපලයක් ලැබී ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇප ලබා දිය නොහැකි වරදක් බවට පත් කළ යුතු බවත්, එමෙන්ම එවැනි වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට නායකත්වය දෙන දේශපාලකයින්ගේ සිවිල් ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් විදේශගතව සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් හරහා පසුගියදා ප්‍රකාශකර තිබිණ.


gossip lanka