gossip lanka

රෝහලේ අලුත උපන් බිළිඳා පැහැර ගනී !

වවුනියාව මහරෝහලේ ප්‍රශව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිඳෙකු ‍සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී ඊයේ(10) අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව පොලිසිය පැවසුවේය.

වවුනියාව පොලිසිය පැවසූවේ පසුගිය 07 වැනිදා වවුනියාව බෝගස්වැව, 05 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම්.එම්.කල්‍යණි මානගේ නමැති මවට උපන් පිරිමි දරුවෙකු පසුගිය 09 වනදා සොරාගෙන ගිය කාන්තාවක් එලෙස ඊයේ  (10) අත්අඩංගුවට ගෙන ඇති බවටයි.

බිළිඳාගේ මව එම්.එම්.කල්‍යණි මානගේ දරුවා රැගෙන යාම පිළිබඳව කියා සිටියේ,

වව්නියාව රෝහලේ ප්‍රශව ඒකකයට පසුගිය 07 වනදා කාන්තාවක් පැමිණ මගේ දරුවා හිටිය ඇඳ ආසන්නයෙන්ම හිඳගෙන පොඩි වෙලාවක් හිටියා පස්සේ මම ලගට ඇවිත් අනේ අක්කේ ඔයා කොහොද දරුවානම් ලස්සනයි මහත්තයා සදු ඇති නේද අක්කට අමාරුද කවද්ද ටිකට් කපන්නේ වගේ ප්‍රශන ටිකක් අහලා පසුව මාත් එක්ක මිතුරු වුනා නමුත් මම මීට කලින් කවදාවත් ඒ කාන්තාව දැකල තිබුනෙ නැහැ මනුස්සකමට කතාකරනවා ඇති කියල මම හිතුවා ඒ වෙලාවෙදී මට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇති වුනා ඒ නිසා මාත් එක්ක කතා කරපු කාන්තාවට කිව්වා අනේ මගේ දරුවා ටිකකට බලාගන්න මම ඉක්මනට වැසිකිලියට ගිහින් එන්නම් කියලා මම වැසිකිලියට ගිහින් විනාඩි 5 ක්වත් ගියෙ නැහැ ආපහු ඇඳ ලගට ඇවිත් බලන කොට දරුවා නැහැ මම කෑගහගෙන වාට්ටුවේ නර්ස් නෝනලා ලගටයි දොස්තර ලගටයි දිව්වා නමුත් ඒ අයත් දන්නැහැ කිව්වා ඊලගට මම කෑගහගෙන රෝහලේ ඉන්න සිකුරුටි නිලධාරීන් ලගට ගියහම ඒ අය දන්නෙත් නැහැ කිව්වා මගේ ඇගම පන නැතිවෙලා ගියා පස්සේ මගේ මහත්තයා එක්ක වව්නියාව පොලීසියේ පැමිණිල්ලක් දැම්ම ඒ වෙලාවෙම මගෙ දරුවා නැති බවත් පැමිණි කාන්තාව ගැනත් අපි සඳහන් කලා ඊට පස්සේ දිනකට පස්සේ තමයි අනුරාධ පුර රෝහලෙන් දැනුම් දුන්නේ දරුවා ඉන්න බව එතකොටයි මගේ ඇගට පණක් ආවේ. යනුවෙනි.

දරුවාගේ පියා  වූ ඒ.ආර්.පී. රාමනායක කියා සිටියේ ,

‘මම ගෙදර ඉන්න කොට මගේ නෝන මට ඇමතුමක් දීල කිව්වා අපේ දරුවා අතුරුදහන් වෙලා කියලා ඒ වෙලාවෙම මම රෝහලට ආවා රෝහලට ඇවිත බලන කොට රෝහලෙ කිසිම කෙනෙක් දන්නැහැ අපි කෑගහල කිව්වා අපේ දරුවා හොයල දෙන්න කියලා ඒ වෙලාවෙ රෝහල් පොලීසිය මාර්ගයෙන් වව්නියාව පොලීසියේ පැමිණිල්ලක් දාල හැමතැනටම දැනුම් දුන්නා අපිට හිතාගන්න බැහැ ඉපදුනු ගමන් අපේ දරුවා මේ කාන්තාව අරන් ගියො මොකටද කියලා. යනුවෙනි

දරුවා 09 වැනිදා අතුරුදහන්වීම සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය අවට පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබු අතර, දරුවා රැගෙන ගිය කාන්තාව දරුවාගේ සිරුර කහ පැහැවී‍මේ රෝගයක් පවතින බවට පවසා අනුරාධපුර රෝහලට පැමිණ ඇති අවස්ථාවකදී අදාළ කාන්තාවගේ සැකකටයුතු හැසිරීම හා ඉදිරිපත් කළ ලේඛනයන්ගේ ව්‍යාජවීම හමුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් අදාළ කාන්තාව සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව දරුවා පැහැරගෙන ගිය කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

කැබිතිගොල්ලෑව, වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කාන්තාව දරුවා කහ පැහැ වීම හේතුවෙන් බිය වී අනුරාධපුර රෝහලට ඇතුලත් කොට පළමුව කියා ඇත්තේ දරුවා තමන්ගෙ බවටයි අනතුරුව රෝහල් කාර්යා මණ්ඩලය විසින් දරුවා කහපැහැ වීමෙන් මෙලෙස දරුවෙකු ඉපදුනු ගමන් මවකට නිවසට යාමට අවසර නොදෙන බැවින් ලිපි ලේකන පරික්ෂා කිරීමේදී එවැනි දරුවෙකු අදාල කාන්තාව විසින් අනුරාධපුර රෝහලේදී බිහිකොට නොමැති නිසාවෙන් ඒ ගැන සැක සිතී අනුරාධපුර පොලීසියට ඒ බව දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී කාන්තාව පසුව පවසා ඇත්තේ වව්නියාව රෝහලේදී තමන්ට කාන්තාවක් සිය කැම්ත්තෙන්ම දරුවා ලබා දුන බවටයි.

පොලිසිය පැවසූවේ දරුවා පැහැරගත් කාන්තාව එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අද (11) දින වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දරුවාගේ නියම මව වෙත දරුවා භාරදීමට අධිකරණ නියෝග මත දරුවා හා මවගේ ඩි.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවටයි.

දරුවා මේ වන විට අනුරාධපුර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතරම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka