gossip lanka

යෝෂිතගේ ඩේසි ආච්චි රට යයිද?

යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට විදේශගත වීම තහනම් කරමින් අධිකරණයෙන් පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස දෙවන වරටත් කළ ඉල්ලීම සලකා බැලූ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොඩ් මිහාල් මහතා ලබන 21 වැනි දින අධිකරණයේ පෙනී සිටින මෙන් නොතේසි නිකුත් කළේය.

රත්මලානේ පිහිටි රුපියල් මිලියන 36 ක් වටිනා ඉඩමක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
මූල්‍ය අපරාධ කොට්ඨාසය පවරා ඇති නඩුවේ පළමු වැනි සැකකාරිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට සහ හිටපු නාවික ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර ඇති අතර විදේශගත වීමේ තහනම් නියෝගයක් උසාවියේ පනවා තිබේ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරුණ ජයසිංහ මහතා මෝසමක් මගින් පැමිණිල්ල කැඳවා තිබිණි.

නීතීඥ නිශාන්ත දයානන්ද මහතා අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව වන පළමු වැනි සැකකාරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වීම සඳහා අධිකරණයෙන් පනවා ඇති විදේශ ගමන් තහනම් කර ඇති නියෝගය තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ සඳහා වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන මිහිඳු මාවත ගල්කිස්ස පදිංචි ඩේසි ෆොරස්ට් මහත්මිය නමින් රුපියල් මිලියන 36 කට මිලදී ගෙන ඇති සිරිමල් උයන කෙකටිය පෙදෙස, රත්මලාන ලිපිනයේ පර්චස් 31.5 ක නිවසක් සහිත ඉඩම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


gossip lanka