gossip lanka

වසර 27ක් වසා දමා තිබූ කන්කසන්තුරේ පේදුරුතුඩුව මාර්ගය විවෘතයි

වසර 27 ක් පුරා වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ඊයේ සිට (05) සිට ජනතාවට විවෘත කෙරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යාපනයේ දී ඊයේ පැවසීය.

1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත වීමත්
සමඟ ජනතාව ගමන් කළයුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බව බව ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) යාපනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මේ අතර යාපනය අවතැන්වූවන් වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සියයට 75කින් පමණ අවසන් කර තිබෙන අතර, ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ද කඩිනමින් නිමකරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය :

අතුරුදන්වූවන් පිළිබඳ දීර්ඝ කාලයක් පුරා පවතින ජනතා හඬ නැගීම පිළිබඳ ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ, ඒ වෙනුවෙන් ඉහළම සාධාරණය ඉටුකිරීමට තමා කැපවී සිටින බවයි.

එම අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා අතර, ඔවුන්ගේ ඉල්ලීම් අනුව අවශ්‍ය සාකච්ඡා, සොයාබැලීම් සඳහා ඕනෑම අවස්ථාවක තමා සූදානම් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

වවුනියාව සේවය කර ඇත්තේ එක් දේශපාලන පක්ෂයක් ?

මේ අතර වවුනියාව යන්ග් ස්ටාර් ක්‍රිඩාංගණයේ පැවැති ජනහමුවක් සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

වවුනියාව ජනතාවට සේවය කර ඇත්තේ එක් දේශපාලන පක්ෂයක් බව සඳහන් කරමින් එම ජනතාව අතර බෙදා දී ඇති පත්‍රිකාවක් පිළිබඳ ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා වවුනියාව ඇතුළු උතුරේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර එයට සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය වන පරිදි මැති ඇමැතිවරු පත් කරමින් පක්ෂ බේදයකින් තොරව සියලු ජනතාවට එක හා සමාන සංවර්ධනයක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලද්දේ තමා විසින් බව කියා සිටියේය.

සංවර්ධනයට මුවා වෙමින් දේශපාලන වශයෙන් ජනතාවට බෙදා වෙන් නොකරන ලෙස තමා උතුරේත් දකුණේත් සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.



gossip lanka