gossip lanka

ලසිත් මාලිංග යළි කණ්ඩායමට ?

බංග්ලාදේශය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට එක් නොවන ලසිත් මාලිංග නිදහස් කුසලාන තරගාවලියට එක්කර ගැනීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි ක්‍රිකට් පුවත් සේවා පවසනවා.

වසර දෙකකට ආසන්න කාලයක් ආබාධ තත්වයන් හේතුවෙන් ලසිත්
මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට හැකියාවක් ලැබුනේ නැහැ.

කෙසේ වෙතත් පසුගිය වසරේ ජුනි මාසයේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියට ලසිත් මාලිංග එක්වුනා.

ඉන්දියාව සමග පැවති තරගාවලියෙන් පසු පැවති තරගාවලි කිහිපයකටම ලසිත් මාලිංග කණ්ඩායමට කැඳවා තිබුනේ නැහැ.

මේ හේතුවෙන් නිදහස් කුසලාන තරගාවලියට තෝරා ගැනීමට හැකියාවක් ඇත්ද යන්න සලකා බැලීම සඳහා පළමු පෙළ තරග කිහිපයකට ක්‍රීඩා කරන ලෙසට මාලිංගට තේරීම් කමිටුව දන්වා ඇතැයි වාර්තා වනවා.

අනතුරුව ඔහුගේ යෝග්‍යතාව පිළිබඳ තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි ප්‍රකාශකර ඇති බව ක්‍රිකට් පුවත් සේවාවල සඳහන්.

ලසිත් මාලිංගට පමණක් නොව කණ්ඩායම නියෝජනය කරන මෙන්ම විවේක ගන්වා සිටින සියලු ක්‍රීඩකයන්ට පළමු පෙළ තරගවලට ක්‍රීඩා කරන ලෙසට උපදෙස් ලබාදුන් බවයි තේරීම් කමිටු ප්‍රධානියා සඳහන් කර ඇත්තේ.

මීට මාසයකට පමණ පෙර ලසිත් මාලිංග එන් සී සී කණ්ඩායම සමග පළමු පෙළ තරගයකට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී මාලිංග නියෝජනය කළ එන් සී සී කණ්ඩායම ටැමිල් යුනියන් කණ්ඩායම පරදවා ජයගත්තේ කඩුලු 10 කින්.

එම තරගයේදී ලසිත් මාලිංග පන්දුවාර 10 ක් යවා තිබුනා.

නිදහස් කුසලාන 20 යි 20 තරගාවලිය ලබන මාර්තු මස 6 වනදා ආරම්භ වන අතර 18 වනදා දක්වා පැවැත්වෙනවා.

ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගාවලිය පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.


gossip lanka