gossip lanka

කළු ගඟේ මූදු වතුර ; කළුතර වතුර බොන්න බෑ!

පවතින වියළි කාලගුණයන් සමග කළුතරට ජලය සපයන කළු ගඟට මුහුදු වතුර මිශ්‍රවීමෙන් ඊයේ (01) ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ කළුතර ජල සම්පාදනය මණ්ඩලයේ නළ ළිං
මගින් ලබාදුන් ජය පරිභෝජනයට ගත නොහැකි තරමට කිවුල් රස වූ බවයි.

මේ තත්ත්වය හේතුවෙන් කළුතර ප්‍රදේශයේ තේ, කිරි තේ විකිණීමද නතර කර දැමීමට සිදුවූ බවත්, විශාල වශයෙන් පානීය ජල බෝතල් අලෙවි වූ බවත් කළුතර වෙළඳසැල් හිමියන් පවසයි.

පසුගිය ගංවතුර සමයේදී අළුතින් කැපූ මෝය කට හේතුවෙන් මෙම තත්ත්වය වඩා උග්‍ර වී ඇති බවත්, මේ වන විට ලවණ ජලය කළු ගඟේ කි.මී. 28ක් පමණ දුරට ගලාගොස් ඇති බවත් ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් පවසයි.

යෝජනා ආවාට විසඳුම් නෑ…

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු එස්.පී.එස්.සාගේෂ්වර මහතා පවසා ඇත්තේ 1948 සිට මේ වන තෙක් සමීක්ෂණ පවත්වා ඇති බවත් මේ සඳහා තවමත් ස්ථිර විසඳුමක් ලැබී නැති බවයි.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී - ජී. රාමවික්‍රම මහතා පවසා තිබුණේ කළුතර පාලම අසලින් ලවණ බාධකයක් ඉදිකිරීමට කාලයක් පුරාවට යෝජනා ඉදිරිපත්වී තිබුණුද එම යෝජනා ක්‍රියාත්මක නොවූ බවයි.

වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කර සිටින්නේ මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් කටයුතු සිදුකළ නොහැකිබවත් ඒ සම්බන්ධ යෝජනා හා සැලසුම් අදාල විෂයභාර අමාත්‍යවරුන් විසින් සිදුකළ යුතු බවත් ය.

gossip lanka