gossip lanka

කොළඹ අගනගරේ පිහිටි ජෝන් ද සිල්වා රඟහල විකුණයි..

වේදිකා නාට්‍ය ඇතුළුව ප්‍රාසාංගික කලා නිර්මාණ, සාධාරණ මිල ගණන් යටතේ වේදිකාගත කිරීම සඳහා ශාලා පහසුකම් ලබාගත හැකිව තිබූ, කොළඹ නගරයේ පිහිටි ජෝන් ද සිල්වා රඟහල ව්‍යාපාරිකයකුට විකූණා දැමීමට සූදානම් වන බව
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ගවලින් හෙළි වෙයි. මෙම රඟහල ද ඇතුළුව මහල් තුනකින් යුතු කලා සංකීර්ණයක්‌ මෙම ස්‌ථානයේ ස්‌ථාපනය කිරීමේ අරමුණින්, පසුගිය රජය පාලන කාලයේ එනම් 2013 වර්ෂය අග භාගයේ දී මෙම රඟහල කඩා ඉවත් කිරීමෙන් පසුව, රුපියල් මිලියන 422 ක
ප්‍රතිපාදන වෙන් කරමින් සිදුකරන මෙහි සංවර්ධන කටයුතු, දැනට වසර පහක පමණ කාලයක්‌ තිස්‌සේ ඉබි ගමනේ පවතී. මෙම ප්‍රතිපාදන පවා වෙන්කර තිබෙන්නේ, මුළුමනින්ම රඟහල ඉදිකිරීම සඳහා නොව, එහි සැකිල්ල ඉදිකිරීම සඳහා පමණි.

මෙහි ස්‌ථාපනය කිරීමට නියමිතව තිබෙන රඟහලේ ඇතුළත සැලැස්‌ම, රඟහලක භාවිතයට පවා උචිත නොවන අයුරින් ඉදිකර තිබේ. මෙහි ඇතැම් ආසන සඳහා වෙන්කර තිබෙන ස්‌ථානයේ සිට අසුන් ගෙන වේදිකාවේ සිදුකෙරෙන ක්‍රියාකාරකම් නැරැඹිය නොහැකිය. මෙහි දෙවැනි මහලේ රඟහල පිහිටා තිබෙන බැවින්, විශේෂයෙන් ආබාධිතයන්ට රඟහලට ඇතුළුවීමට එය බාධාවක්‌ව පවතී. වේදිකාවට සමාන්තරව ග්‍රීන් රූම් හෙවත් නේපත්‍යාගාරය පිහිටා තිබිය යුතු වුවද, එය පිහිටා තිබෙන්නේ ඉහළ මාලයේ ය. මෙහි පවතින අඩුපාඩු ගැන කලාකරුවන් පිරිසක්‌, අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට මෙයට වසර දෙකකට පමණ පෙර යොමු කළ බැවින්, ඒ අනුව ක්‍රියාත්මක වූ වයඹ සංවර්ධන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය, මෙහි පවතින අඩුපාඩුකම් නිවැරදි කර රඟහලේ ඇතුළත සැලැස්‌ම නවීකරණය කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට භාර කෙරිණ. ඒ අනුව ආසන පහසුකම් ද සහිතව රඟහල නැවත නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 1275 මුදලක්‌ වැය කිරීම වෙනුවෙන් ඇස්‌තමේන්තුවක්‌ අමාත්‍යංශයට ඉදිරිපත් කෙරිණ. මේ සඳහා අවශ්‍ය පිරිවැය රජයෙන් වෙන් කිරීමට තිරණය ගෙන තිබෙන අතරේ, කැසිනෝ ජාවාරමේ යෙදීමෙන් ලංකාවේ අංක එකට පත්ව සිටින ධනපති මුදලාලි කෙනකුට, අර්ධ ඉදිකිරීමේ තත්ත්වයේ පවතින, ජෝන් ද සිල්වා රඟහල ඇතුළු මෙම කලා සංකීර්ණය විකුණා දැමීමේ සාකච්ඡා සිදුවෙමින් පවතී.

මෙම කරුණ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බැවින්, ඔහුගේ මැදිහත්වීමෙන් ජෝන් ද සිල්වා රඟහල ඇතුළුව මෙම කලා සංකීර්ණය විකුණා දැමීමට තිත තැබෙයි ද යන්න පිළිබඳව, කලාකරුවෝ දැඩි විමසිල්ලෙන් පසු වෙත්.

gossip lanka