gossip lanka

බෙල්ලන්විල නාහිමියන්ට හදිසි සැත්කමක්

බෙල්ලන්විල රජමහ විහාරයේ සිටින ඇතකු පහරදීමෙන් ඉළඇට හා අතක අස්ථි බිඳීමට ලක්ව කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විශේෂ සැත්කමක් සඳහා ආසිරි ශල්‍ය රෝහල වෙත සිකුරාදා (02) පස්වරුවේ ඇතුළත් කර තිබේ. මේ සැත්කම සිකුරාදා පස්වරු 6.30ට ආරම්භ කෙරිණි.
දකුණු පස ඉළ ඇට නවයක බිඳීමක්ද නිසා මහාචාර්ය බෙල්ලන්විල
විමලරතන හිමියන් පළමුකොටම ඇතුළත් කෙරුණේ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයටය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන්  කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙවැන්නකි.

'විමලරතන හිමියන් රෝහලට ගෙනාවේ තරමක අසාධ්‍ය තත්ත්වයෙනුයි. ඒත් උන්වහන්සේ ප්‍රකෘති සිහියෙන් හිටියා, ස්වාමින් වහන්සේගෙ දකුණ අත පැත්තේ බිඳීමක් වෙලා. ඉළ ඇට 9ක් බිඳිලා. දකුණු අතේ බිඳීම ස්ථාවර කිරීමට ප්ලේට් එකක් දාන්න වුණා.'

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේව ආසිරි සර්ජිකල් රෝහල වෙත මාරුකර යැවුණේ විශේෂ සැත්කමක් සඳහායි. අස්ථි භංගයකට ලක්වී සිටින හිමියන්ගේ ඉදිරි ප්‍රතිකාර කරනු ලබන්නේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී. එම්. එස්. හඳගලය. ඉල ඇට කීපයක් බිඳී තිබීම හේතුවෙන් නාහිමියන් ශල්‍යකර්මයකට ලක්කළ යුතු බවත් මේ බිඳීම නිසා උරස් කුහරයටත් බටයක් දැමීමට සිදුවූ බවත් විශේෂඥ වෛද්‍ය හඳගල අප කළ විමසීමකදී පැවැසීය.
බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ සිටින "මියන් කුමාර" නම් ඇතාගේ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් දකුණු කොළඹ කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ඉකුත් සිකුරාදා (02දා) පෙරවරුවේය.
විමලරතන හිමියන් "මියන් කුමාර" නම් ඇතාට "සියඹලා" ආහාර ලෙස ලබා දෙමින් සිටියදී ඇතා එක්වරම හොඬවැලෙන් හිමියන් අල්ලා බිමට දමා අනතුරුව දළ දෙකෙන් තද කළ බව සිද්ධිය ඇසින් දුටු සේවකයෙක් පැවැසීය.

ඒ සමඟම එක් සේවකයකු ඇතා අසලට පැමිණ කෑ ගැසීමත් සමඟ ඇතා හොඬවැල උස්සා ඇති අතර වහා ක්‍රියාත්මක වූ එහි සිටි පුද්ගලයන් බිම වැටී සිටි විමලරතන හිමියන් රෝහල්ගත කිරීමට පියවර ගත් බව එම සේවකයා වැඩිදුරටත් පැවැසීය. අවුරුදු 14 1/2ක් වන ඇතාට විමලරතන හිමියන් සෑම දිනකම පාහේ උදෑසන ආහාර දෙන බව පන්සලේ සේවකයෙක් පැවැසීය.

විමලරතන හිමියන්ට සිදුවූ හදිසි අනතුර අසා මහා සංඝරත්නය මෙන්ම දායක දායිකාවෝ විශාල පිරිසක් රෝහල වෙත පැමිණ සිටියහ.
නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා, උප පොලිස් පරීක්ෂක සමරජීව මහත්වරු පරීක්ෂණ පවත්වති.

- මව්බිම
gossip lanka