gossip lanka

අධිකරණය භාරයේ තිබූ වෙලේ සුදාගේ බිරියගේ ආභරණ සේප්පුවේ යතුර අතුරුදන්

 මහාධිකරණය විසින් මරණීය දණ්‌ඩනය නියම කර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් "වෙලේ සුදා" නමැත්තාගේ බිරිඳට අයත් රුපියල් කෝටි ගණනක්‌ වටිනා රන් ආභරණ තොගයක්‌ තැන්පත් කර ඇති නුගේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ආරක්‍ෂිත සේප්පුවේ යතුර අධිකරණ භාරයේ තිබියදී අස්‌ථානගතවීම සම්බන්ධයෙන්  වහාම විමර්ශනයක්‌ සිදුකර වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විඡේරත්න
මහතා ඊයේ (23 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

රන් ආභරණ තොගය තැන්පත් කර තිබූ ආරක්‍ෂිත සේප්පුවේ යතුර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණයේ නඩු භාණ්‌ඩ කාර්යාලයට භාරදී ඇති බවත් එය මේ වන විට අස්‌ථානගතවී ඇතැයි වාර්තාවී ඇති බවත් පෙන්වා දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කළ කරුණු දැක්‌වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක්‌ සිදුකර අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා එහිදී කොළඹ ප්‍රධාන මහාධිකරණ රෙජිස්‌ටාර් වරයාට ද නියෝගයක්‌ නිකුත් කළේය.

අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක්‌ අනුව තහනමට ලක්‌කර ඇති එම රන් ආභරණ අතරින් වෙලේ සුදා නමැත්තාගේ බිරිඳ වන ගයනි ප්‍රියදර්ශනි නමැත්තියට අයත් රන් ආභරණ නිශ්චිතව හඳුනාගෙන වාර්තාවක්‌ කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝගයක්‌ කොට තිබිණි.

එම නියෝගය අනුව පසුගිය 18 වැනිදා විත්තිකාරිය, ඇගේ නීතිඥවරයා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකී රාජ්‍ය බැංකුවට ගිය අවස්‌ථාවේදී බැංකුව භාරයේ තිබූ එම සේප්පුවේ යතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදී ඇති බව බැංකු නිලධාරින් විසින් හෙළි කිරීම නිසා එම නඩු භාණ්‌ඩ හඳුනා ගැනීමට විත්තිකාරියට අවස්‌ථාව නොලැබුණු බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල මුතුමුදලිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එකී සේප්පුවේ යතුර නඩු භාණ්‌ඩයක්‌ ලෙස ලකුණු කර මහාධිකරණ නඩු භාණ්‌ඩ කාර්යාලයට භාරදී ඇති බැවින් එය අස්‌ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ චතුරංගි මහවඩුවේ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව එම නඩුව ලබන පෙබරවාරි 16 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.

වසර දෙකයි මාස තුනකට ආසන්න කාලයකදී (2010.01.01 හා 2012 2.25 වැනිදා කාලය අතරතුරදී) හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ වෙලේ සුදා නමැත්තාටත් ඔහුගේ සහෝදරියක වන වසන්ති වසුන්දරා නමැත්තියට හා බිරිඳ වන ගයනි ප්‍රියදර්ශනි නමැත්තියට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

gossip lanka