gossip lanka

තැපැල් ඡන්දය අදින් ඇරඹේ - 26 වැනිදායින් අවසන් වෙයි

තැපැල් ඡන්දය සළකුණු කිරීමේ පළමු අදියර අද (22 දා) ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව අද මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල දී තැපැල් ඡන්දය සළකුණු කෙරෙන බව ද එම කොමිෂන් සභාව පවසයි. සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක
හමුදා කඳවුරු හා වෙනත් ආයතනවල තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ මස 25 සහ 26 දිනවල සිදු කිරීමට නියමිතය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විටත් අදාළ ආයතන වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සියයට 60ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය.

පසුගිය 18 වන දින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ අතර එය ලබන 4 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

ජනවාරි මස 28 වන ඉරුදින විශේෂ ඡන්ද පත්‍රිකා බෙදීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව මැතිවරණ ක්‍රමයත් සමග වෙනම තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් නොකෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ඡන්දපොළ තුළම හෝ එම කොට්ඨාසය තුළ මුලින් නියම කරගත් ස්ථානයක අදාළ ඡන්ද පොළේ ඡන්දය ගණන් කිරීම සිදුවේ. එහිදි එම කොට්ඨාසයට අයත් ඡන්ද ප්‍රතිඵලයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය ඊට එකතු කරනු ලබන බව ඒ මහතා සඳහන් කරයි.


gossip lanka