gossip lanka

පොළොන්නරු පුදබිමේ මුව මස් ජාවාරම්

විවිධ උපක්‍රම යොදාගනිමින් දඩයක්කරුවන් විසින් ඓතිහාසික පොළොන්නරුව පුදබිම තුල නිදහසේ ජීවත්වන මුවන් දඩයම් කිරීම නිසා එම ප්‍රදේශයේ මුවන් සීඝ්‍රයෙන් වඳවීමේ තර්ජනයක් මතුව ඇති බව වනජීවී කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය 21 වැනිදා ද දඩයම් කිරීමට පුහුණු කළ සුනඛයින් පිරිසකට මැදිව
සිටි මුව දෙනක් ප්‍රදේශවාසීන් විසින් බේරා ගැනීමට සමත්වුවද, සුනඛයින් විසින් එම සතාගේ ගෙලට විශාල හානි කර තිබූ හෙයින් එම මුවදෙන සුළු මොහොතකින් මියගිය බව ප්‍රදේශවාසීහු පැවසීය.

මුවෝ මරන්න එන්නෙ කොළඹින් 

පුදේශ වාසියකු මෙසේද කියා සිටියේය.

“මේ පුරාවිද්‍යා භුමිය තුල සිදුවන අකටයුතු දෙවල් ගැන කියන්න ගියෝත් දවසක් මදි වෙනවා කියන්න. ඒවා මොනවා වුනත් මේ සත්තු මරණ එක ගැන නොකියා බෑ. මුවෝ මරන්න එන්නේ කොළඹින්… එහෙම ඇවිල්ල අවට ගම්මනවල කවුරුහරි අල්ලාගෙන් රෑට තුවක්කු වලින් වෙඩි තියලා මුවෝ මරනවා.”

දවසකට මුවෝ 4ක් 5ක් මරණවා

“ඊට අමතරව මදු උගුල් වගේම බල්ලෝ යොදාගෙනත් අවට ගම්වානවල අයත් මරනවා. ඒ සත්තුන්ගෙ මස් කොළඹට වගේම පොලොන්නරුවෙ සංචාරක හෝටල්වලටත් දෙනවා..ඒ වගේම මේ පැත්තෙ උත්සවයක් තිබ්බමත් මුවෝ මරණවා…මේව කාට කිව්වත් වැඩක් නෑ..දවසකට මුවෝ 4ක් 5ක් මරණවා..මේ සත්තු මිනිස්සුත් මරණවා..බල්ලොත් මරණවා..”

දාහක් හිටිය මුවෝ දෙසිය පනහට බහියි !

“ මේ බල්ලො මිනිස්සු මුවෝ අල්ලන්න පුරුදු කරපු එවුන්..මේ බල්ලො මිනිස්සුන්ටත් මුවෝ අල්ලට දීල උන්ට කන්නත් මුවෝ අල්ලගන්නවා…කොහොමහරි මේ මුව රංචුවෙ පහුගිය කාලේ මුවෝ දාහක් විතර හිටිය. දැන් ඉන්නෙ දෙසිය පනහක් විතර..ඒ තරමට ඒ මුව රැළ අඩුවෙලා…අපි ඉල්ලන්නෙ මේ සම්පත රැකගන්න මැදිහත් වෙන්න කියල”

පුදබිම අවට ඇති හෝටල් සතුන්ට තර්ජනයක් - වනජිවි අඩවි ආරක්ෂක

මේ සම්බන්ධයෙන් අප පොළොන්නරුව කලාපයේ වනජිවි අඩවි ආරක්ෂක පී. එම්. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මුවන් දඩයම් කිරීම විශාල අපරාධයක් බවත් මේ සඳහා ක්‍රියා මාර්ග කිහිපයක් ඉදිරිපත් කළ බවයි.

ඉන් පළමුවැන්න පුදබිම තුළ සිටින බල්ලන් ඉවත් කිරීම බවත්, දෙවැන්න පුදබිම තුල මදු ගැසීම සහ නොයෙක් අකටයුතු කම් සදහා රක්ෂිතය තුලට ඇතුල්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යෝජනා කිරීම බවයි.

දර කැඩීමට යැයි කියමින් රක්ෂිතයට ඇතුළුවන අය මුවන් දඩයම් කිරීම සිදු කරන බවද කී රත්නායක මහතා මේව විටත් සිය නිලධාරීන් යොදවා දිනක් හෝ දෙකක් දඩයක්කරුවන් විසින් තබා ඇති මදු ඉවත් කිරීම සිදු කරන බවයි.

බල්ලන් රක්ෂිතයට නොයවන ලෙසට ගම්වාසීන් දැනුවත් කර තිබුණද, ඔවුන් එවැනි දැනුවත් කිරීම් මායිම් නොකරන බවද ඔහු කියා සිටියේය.

බුදබිම මායිම තුළ හෝටල් පැවතීමද වන සතුන්ගේ ජීවිත වලට තර්ජනයක් බවද හෙළි කළ රත්නායක මහතා තමා මේ සම්බන්ධ කරුණු දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ද හෙළිකළ බවද පැවසීය.

කෙසේවුවද, මේ පිළිබඳව ඉහල නිලධාරීන් දැනුවත් කර කඩිනම් විසඳුමක් ලබාගතයුතු යැයිද ඔහු කියා සිටියේය.

gossip lanka