gossip lanka

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායකයෙක්

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සිට ශ්‍රී ලංකාවට නව එක්‌දින නායකයකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙන අතර අදාළ පත්කිරීම් ලබන 30 වැනිදා සිදුකිරීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නව එක්‌දින නායකත්වය සඳහා ඇන්ජලෝ මැතිව්ස්‌,
නිරෝෂන් දික්‌වැල්ල සහ ළහිරු තිරිමාන්නව යෝජනා වී ඇති අතර දිනේෂ් චන්දිමාල්ගේ නමද ඒ අතර වේ. කෙසේ වෙතත් චන්දිමාල්ගේ එක්‌දින තරග පිති ප්‍රහාරයේ ප්‍රහාරාත්මක වේගය හුවා දක්‌වමින් ඔහුට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතැමුන්ගේ විවිධ මත පළවී ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත් නව නායකයා පත් කිරීම සම්බන්ධව ඉදිරියේදී වැඩ භාර ගැනීමට නියමිත පුහුණුකරු චන්දික හතුරුසිංහ සමගද සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් සහ තේරීම් කමිටුව කටයුතු යොදනු ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

ගතවූ මාස 11 තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ එක්‌දින තරග 26 කදී පරාජයන් 21 ක්‌ ලබා ඇති අතර ජය ගෙන ඇත්තේ තරග 4 ක්‌ පමණි. ජය ගත් තරග හතර සිම්බාබ්වේට තරග දෙකක්‌, බංග්ලාදේශයට එක්‌ තරගයක්‌ සහ ඉන්දියාවට තරගයක්‌ වශයෙන් ලබා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව පිට පිටම එක්‌දින තරග 12 ක්‌ පරාජයට පත්ව තිබේ. එක්‌දින තරග පහකින් සමන්විත තරගාවලි තුනක්‌ වසරක්‌ තුළදී 5-0 ක්‌ වශයෙන් (දකුණු අප්‍රිකාවට, ඉන්දියාවට සහ පාකිස්‌තානයට) පරාජයට පත්වූ ලොව එකම කණ්‌ඩායම බවටද ශ්‍රී ලංකාව පත්විය.

එක්‌දින පරාජයන් රැල්ල නවතා ගනිමින් 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් ස්‌ථිර නායකයකු පත්කිරීමට ග්‍රැහැම් ලැබ්බ්‍රොයිගේ නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනූව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට යළිත් ශ්‍රී ලංකාවේ එක්‌දින නායකත්වය ලබාදීමට වැඩි අවධානයක්‌ යොමුව තිබෙන අතර ඊට අමතරව ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්‌වැල්ල සහ දිනේෂ් චන්දිමාල් කෙරෙහිද තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

2019 ඉලක්‌කයට යන ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායමේ නායකයා කවුරුන්ද යන්න ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රොයි මහතාගෙන් විමසන ලදුව, ”අපි එකදිගට එක්‌දින තරග පරාජය වෙනවා. ඒ නිසා අලුත් නායකයකු පත්කරන්න කටයුතු කරනවා. ලබන 30 වැනිදා නව නායකයා පත්කරනවා. ඉන්දියානු සංචාරයට යන්නෙ නව නායකයෙක්‌.” යනුවෙන් පැවසීය.

වත්මන් ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායමේ නායකත්වය ලබාදීමට සුදුසු ජ්‍යෙෂ්ඨයන් ලෙස ඉතිරිව සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න පමණි. ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයාගෙන් හිටපු නායකයාට යළිත් එක්‌දින නායකත්වය ලබා දීමට සූදානම්ද යනුවෙන් විමසන ලදුව, ”අපිට පසුගිය දේවල් වැඩක්‌ නැහැ. කණ්‌ඩායමේ විනය සහ දක්‍ෂතාවය තියෙනවනම් හොඳම කෙනාට නායකත්වය ලබා දෙනවා. ඇන්ජලෝ මැතිව්ස්‌ට වුණත් අපි නායකත්වය ලබාදෙන්න සූදානම්. මොකද මේ පරාජයන් නවත්වලා 2019 වන තෙක්‌ හොඳ නායකයකු පත් කරන්න ඕන. නම් කිහිපයක්‌ තියෙනවා. ඒ අනුව හිටපු නායකයා කියල නැහැ සුදුසුම කෙනාට අපි නායකත්වය ලබා දෙනවා. ඒ ගැන තවම ස්‌ථිර තීරණයක්‌ අරගෙන නැහැ.” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස්‌ සිම්බාබ්වේ කණඩායම සමග ජුනි මාසයෙ පැවැති එකදින තරගාවලිය 3-2 ක්‌ ලෙස පරාජයට පත්වීමෙන් පසුව නායකත්වයෙන් ඉවත් විය. අනතුරුව ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල්වත් එක්‌දින සහ විස්‌සයි විස්‌ස නායකත්වයට උපුල් තරංගවත් පත් කරන ලදී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරග විස්‌සකට වැඩිය නායකත්වය ලබාදුන් ක්‍රීඩකයන් අතර ජයග්‍රාහී ප්‍රතිශතය 50% කට වැඩිය රඳවා ගත් නායකයන් සිටින්නේ පස්‌දෙනෙකි. ඉන් එක්‌ අයකු ඇන්ජලෝ මැතිව්ස්‌ය. මැතිව්ස්‌ එක්‌දින තරග 98 කට නායකත්වය දී තරග 47 ක්‌ ජයග්‍රහණය කරා මෙහෙයවා අතර එහි ජයග්‍රාහී ප්‍රතිශතය 51.07% කි.


gossip lanka