gossip lanka

අපි බලයට පත්වූ පසු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න කොමිසමක් දානවා

තම ආණ්ඩුවක් බලයට පත්වූ විට බැඳුම්කර මගඩිය වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සදහා සම්පූර්ණ බලතල සහිත කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. අර්ජුන මහෙන්ද්‍රන් සහ අර්ජුන්
ඇලෝසියස් බළල් අත් පමණක් බවත් ඊට ඉහළ සිටින පුද්ගලයන් මෙම වංචාව සඳහා අනුග්‍රහය දක්වා ඇති බවද ඒ මහතා පැවැසීය.

ඊයේ (28දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

අපිට කිසිසේත්ම පුළුවන් කමක් නැහැ එ.ජා.ප.ය සමඟ සන්ධාන ගතවී සිටින පක්ෂයක් සමඟ එක්කාසු වීමට. මේ ආණ්ඩුව දූෂණය සම්බන්ධයෙන් වාර්තාවක් තියලා තිබෙනවා. මාධ්‍ය මඟින් අගමැතිවරයා කියනවා සියලුම හොරුන්, වංචාකාරයන් එ.ජා.ප.යෙන් නෙරපා හරින බව. අනිත් අතින් ඔහු ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ දුන් සාක්ෂිවල හරය තමයි එතුමා පත්කළ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ එතුමාගේ බෑනාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කාර්යභාරය අතරේ පටලැවිල්ලක් තිබෙන බවට, සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරනවා කෝප් කමිටුව තුළදී එතුමා සිදු කළේ එ.ජා.ප.යේ ස්ථාවරය සුරක්ෂිත කිරීම සහ එ.ජා.ප.ය ආරක්ෂා කිරීම බව. එ.ජා.ප.ය මොනවාද වසන් කිරීමට උත්සාහ දරන්නේ.

සුජීව සේනසිංහ ඇමැතිවරයා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට සුදු හුනු ගාලා පොතක් පවා ලිව්වා. ඒ පොතට අනුව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම නිර්දෝෂයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට බලපෑම් කිරීම සාපරාධී වරදක් අපේ අපරාධ නීතිය යටතේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් හොරකම් සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. මෙතැන කරන්නේ මහජන දේපළ යන සංකල්පය අමු අමුවේ වැරැදි ලෙස භාවිත කිරීමයි. අද ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ නීතිඥයන් අභියාචනාධිකරණයට ඉල්ලීමක් කර තිබෙනවා පොලිසියේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් බවට.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන,

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා ඉදිරිපත් කරන ආර්ථිකය පිළිබඳ දර්ශක මඟින් පැහැදිලිව පෙනෙන එක් ලක්ෂණයක් තමයි මුදල් අංශයේ පසුගිය කාල පරිච්ඡේදය තුළ පොලී අනුපාතයන් ඉහළ ගොස් ඇති බව. මේවා සිදුවන්නේ බැඳුම්කර හොරකම පදනම් කරගෙනයි. මේක රටේ සෑම පුද්ගලයකුටම බලපාලා තිබෙනවා. මේ වන විට විශාල ව්‍යාපාරික ආයතනවලට පවා ණය ගෙවාගත නොහැකි තත්ත්වයක් ඇතිවෙලා.

ඒකාබද්ධ විපක්ෂය තමයි දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් කොමිසමක් පත්කරන මෙන් ඉල්ලා සිටියේ. අද එම කොමිසම පත්කළ ජනාධිපතිවරයාට එළව එළවා පහර දෙනවා. මොකද බැඳුම්කර හොරු මේ වන විට මාධ්‍ය ආයතන අයිතිකරගෙන සිටින්නේ. පුවත්පත් හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අයිතිකරගෙන තම මතය ගෙනයෑම සඳහා විවිධ මඩ ව්‍යාපාර අරගෙන යනවා. අපි ප්‍රකාශ කළේ බැඳුම්කර හොරුන්ට දඬුවම් කරන විටදී ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ එකට හිටගන්නවා කියලයි. නැතුව දේශපාලන දීගයක් ගැන නොවෙයි පැවැසුවේ.

ඉෂාරා සිල්වා
ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත

gossip lanka