gossip lanka

ගාමිණී සෙනරත් මාව හම්බුණේ නෑ-සාගලට මල පනී-මාධ්‍යට කට අරී

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා  තමා හමුවූ බවට පළ වන වාර්තා අසත්‍ය හා පදනම් විරහිත ඒවා බව  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ  එය සහමුලින්ම
පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවක් බවයි.

එමෙන්ම  එවැනි අයෙකු සමඟ ගනුදෙනු පැවැත්වීමට තමා හට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත්, එබඳු ගනුදෙනු වලින් තමාට ලබා ගැනීමට දෙයක්ද නොමැති බව ඒ මහතා අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

එම නිවේදනය වැඩිදුරටත්,

මාධ්‍ය නිවේදනය

පදනම් විරහිත, අසත්‍යචෝදනාවලට ඇමති සාගලගෙන් පිළිතුරු

දස වසරක් පුරා පැවති පසුගිය පාලන සමය තුළ මහා පරිමාණ  දුෂිත ක්‍රියා සිදු කිරීම සඳහා පෙරමුණ ගෙන සිටියේ පාලකයන්ට හිතවත් සුළුතර කල්ලියක් බව ප්‍රසිද්ධ කරුණකි.

එම පාලනය පෙරළා දැමීම සඳහා 2015 ජනවාරි 08 වැනි දින හැට දෙලක්ෂයක ජනතාව පෙරට පැමිණියේ එම දූෂිත ක්‍රියාකලාපය අවසන් කිරීම කාලීන අවශ්‍යතාවක් වූ බැවිනි. ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ  අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සහ ඔවුන් වටා ඒකරාශී වූ බලවේග විසිනි.

යහපාලන රජයත්, එය නියෝජනය කරන ඇමතිවරුන් වන අපත් බලයට පැමිණියේ මෙම සියලු දූෂිත ක්‍රියා පුළුල්ව විමර්ශනය කොට වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන පොරොන්දුව මතය.

මේ ක්‍රියාවලිය තුළ නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් මා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙන අතර, මේ මොහොත වන තුරුත් මම එය නොපිරිහෙළා ඉටු කරමි.

කුමන බාධක සහ අභියෝග පැමිණියත්, පොලිස් දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන් සහ නිලධාරින් සමග, ඇමතිවරයා වන මමද එම කාර්යභාරයට උරදී සිටිමි.

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මා හමුවූ බවට හැඟවෙන පරිදි ඇතැම් මාධ්‍යත්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිත් පුවත් පළ කරන්නේ මෙබඳු පසුබිමක් තුළය.

එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවකි. මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණී සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමඟ ගනුදෙනු පැවැත්වීමටත් මා හට කිසිඳු අවශ්‍යතාවක් නැති අතර එබඳු ගනුදෙනු වලින් මට ලබා ගැනීමට දෙයක්ද නැත.

එමනිසා මෙම අභූත චෝදනාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර මේ පිටුපස සිටින්නේ සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර සහිත ඉතා සුළු පිරිසක් පමණක් බව මගේ විශ්වාසයයි.

ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.


මාධ්‍ය ඒකකය
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය           



gossip lanka