gossip lanka

'ආණ්ඩු වෙනස් වුනත් වෙනසක් නැහැ' - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසි පහකට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨය අදත් එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන නිදහස් මාධ්‍ය ව්‍යාපරය පවසයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවත්සරයට සමගාමීව කොළඹදී
මාධ්‍යවේදීන් එක්ව පවත්වන උත්සවයක් පැවැත්වෙන අතරවාරයේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත "ජනමාධ්‍යවේදින් ඝාතනය සහ අතුරුදහන් කිරිම්, ඔවුන්ට ප්‍රහාර දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතනවලට එරෙහි ප්‍රහාර, ගිනිතැබීම්, තර්ජන මෙන්ම බලහත්කාරි බලපෑම් යනාදි සකලවිධ අපරාධ පරික්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස වත්මන් ආණ්ඩුවට දිගින් දිගටම ඉල්ලීම් කෙරුණත් එය ඉටු නොවූ බව කියා සිටියේය.

2015 ජනාධිපති මැතිවරණයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරීමට හවුල් විය.

එවැනි පරිසරයක යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක්, විශේෂයෙන්ම පසුගිය සමයේ ජනමාධ්‍යවේදීන්ට සිදු වූ අපරාධ පිළිබඳව කටයුතු කළ ආකාරය ගැන සැහීමකට පත්විය හැකිදැයි විමසු විට ඔහු පැවසුවේ කිසිදු ලෙසකින් ඒ ගැන සැහීමකට පත්විය නොහැකි බවය.

"කොහෙත්ම සැහීමකට පත්වෙන්නේ නැහැ- මේ පරීක්ෂණ යන ආකරය ගැන. අපි ඒකයි අනිකුත් මාධ්‍ය සංවිධාන සමග එක්ව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියල ඉල්ලුවේ, ඒකටත් ප්‍රතිචාරයක් නැහැ"

ආණ්ඩු සිය මැතිවරණ ප්‍රකාශවලින් මේ ගැන ක්‍රියාත්මක වන බවට පොරොන්දු දී ඇතත් බලයට පත්වූ විට ඒ සම්බන්ධයෙන් දැඩි උදාසීන තත්ත්වයක සිට කටයුතු කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ලියැවිල්ලක සඳහන් වේ.

ජනාධිපති කොමිසමක් පත් කරන්න :


ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයන්ට දඬුවම් දීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසම් පතක්රන ලෙස රජයෙන් නැවත ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවස්තරයට සමගාමිව නිකුත් කළ ප්‍රකාශනය මගින් කියා සිටී.

මේ අතර පසුගිය ආණ්ඩුව සමයේ මෙන්ම වත්මන් ආණ්ඩුව ද වෙබ් අඩවි වාරණය කිරීමට කටයුතු කිරීම ගැන පසුගිය සතියේ කතාබහට ලක්විය.

ඒ ගැන ආණ්ඩුව තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රකාශකයන්ගේ මතය වුණේ අසත්‍ය, අපහාසාත්මක තොරතුරු පළකරන වෙබ් අඩවි තහනම් කළ යුතු බවය.

මේ ගැන ප්‍රතිචාර දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත පැවසුවේ, ආචාර ධර්ම හා නීතිමය තත්ත්වයන් කැඩෙන තත්ත්වයක් තිබේ නම් ඒ ගැන විධිමත් ව්‍යුහයක් තුළින් කටයුතු කළ යුතු බවය.

එසේ නොමැතිව වාරණය කිරීම පසුගාමී විසඳුමක් ලෙස ඔහු විසින් හඳුන්වනු ලැබීය.

(බීබීසී සිංහල සේවය)




gossip lanka