gossip lanka

‘ආවා’ කල්ලිය දෙකඩවී අවුල් වෙයි

යාපනය අර්ධද්වීපය තුළ යළිත් වරක් භීතියක් ඇති කරමින් නාඳුනන යතුරුපැදි කල්ලියක් සැරිසරා තියුණු අවි ආයුධවලින් ස්ථාන හතරකදී ඊයේ (15දා) රාත්‍රියේ සිදු කළ පහරදීම්වලින් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මීට මාස කිහිපයකට ඉහතදී ක්‍රියාත්මක වූ ආවා කල්ලිය දෙපිලකට
බෙදීමත් සමඟ ඔවුනොවුන් මෙලෙස ඇනකොටා ගන්නා බවද යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ආවා කල්ලියේ දෙවැනි පෙළ නායකයා වූ නිශා වික්ටර් ඇතුළු ආවා කල්ලි සාමාජිකයන් පිරිසක් මීට ඉහතදී අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මඟින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ඉන් ආවා කල්ලි සාමාජිකයන් බහුතරයක් මේ වන විට අධිකරණ ඇප මත නිදහස්ව පැමිණ ඇති අතර ආවා කල්ලිය තුළ

උද්ගතවී ඇති ප්‍රශ්නයක් හේතුවෙන් එම කල්ලි සාමාජිකයන් යළි දෙකට බෙදී ඇති බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව ආවා කල්ලියට සම්බන්ධ එක් කල්ලියක් කඩු, කිණිසි, පොලු අතැතිව යතුරුපැදිවල නැඟී යාපනය, මනිපායි, කෝපායි යන පොලිස් වසම්වල පෙරේදා (14දා) රාත්‍රියේ සිදුකළ පහරදීම්වලින් මෙම පුද්ගලයන් අට දෙනා තුවාල ලබා ඇති බව ද පොලිසිය පවසයි.

ප්‍රථමව එම කල්ලිය විදෙස්ගත වීමට කොළඹට පැමිණෙමින් සිටි එකම පවුලේ තිදෙනකුට හා ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථයේ රියැදුරුට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
යතුරු පැදි පහකින් දස දෙනකු පමණ මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව ද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉන් අනතුරුව එම කල්ලිය යාපනයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයකුවත්, කෝපායි ප්‍රදේශයේ මාර්ගයක් අසල සිටි පුද්ගලයන් දෙදෙනකුවත්, කොණ්ඩාවිල් බස් නැවතුම අසල පිහිටි වෙළෙඳසලක සිටි අයකුටත් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් තිබේ.

ආවා කල්ලියේ දෙවන පෙළ නායකයා වන නිශා වික්ටර් නමැත්තා මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර දැනට ඇප මත නිදහස්ව මෙවැනි පහරදීම් සිදුකරමින් සිටින ආවා කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ඉකුත් 12 වැනිදා යාපනයේ පිහිටි වෙළෙඳසලකට රාත්‍රියේ කඩාවැදී යතුරුපැදි කල්ලි සාමාජිකයන් දෙදෙනකු වෙළෙඳසලට සහ එහි සිටි පුද්ගලයන් දෙදෙනකුට පහර දී පලාගොස් තිබිණි. එම පහරදීමට අදාළ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ද මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

උතුරු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්‍ෂණය හා උපදෙස් මත ඒ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

චාමර අමරසූරිය, මුලතිව් - ශෂිකුමාර්,
ඕමන්ත-ශේෂලා අමරසිංහ

gossip lanka