gossip lanka

සංගා තවත් සම්මානයක් අභියස !

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් වසරේ ජනප්‍රියම ක්‍රීඩකයාට පිරිනමන රෙග් හෙක්ටර් සම්මානය සඳහා කුමාර සංගක්කාරද නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
එම සම්මානය හිමි ක්‍රීඩකයා තෝරාගනු ලබන්නේ අදාළ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ඡන්දයෙනි.

එසෙක්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ජෙම් ෆෝටර්, ග්ලාමෝගන්
කන්ඩායමට ක්‍රීඩා කළ කොලින් ඉන්ග්‍රෑම් සහ නොටිංහැම්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කළ ස්මිත් පටේල් එම සම්මානයට නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

සිය ක්‍රිකට් දිවියේ පළමු පෙළ අවසන් තරග වාරයට ක්‍රීඩා කළ සංගා එහිදී සරේ කණ්ඩායම වෙනුවෙන් තරග 10කදී ඉනිම 16කට ක්‍රීඩා කරමින් ලකුණු 1491ක් රැස් කිරීමට සමත් විය.

මෙවර (2017) එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමටද සංගක්කාර සමත් විය.

තරගවාරයේ වැඩිම ශතක ලාභියා ලෙසද සංගක්කාර වාර්තා අතරට එක්ව සිටින අතර ද්විත්ව ශතකයක්ද සමගින් එහිදී ඔහු ලබාගත් ශතක සංඛ්‍යාව 8 කි.

යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 164 සහ 180, මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 114 සහ 120, වොවික්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 105, ලැන්කෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 136, සමර්සෙට් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 157 සහ එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 200 එම ශතක 8 අතරට ඇතුළත් වේ.

එම දස්කම් නිසා ඔහුට සරේ කණ්ඩායමේ යාවජීව සාමාජිකත්වය ද හිමිවිය.

සංගා සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදී නොදැවුණ ක්‍රීඩකයෙක් ලෙස වාර්තාවක්ද පිහිටුවීමට සමත්විය.

එංගලන්තයේ ලැන්කර්ෂෙයර් ප්‍රාරාන්ත කණ්ඩායමට එරෙහිව සිය අවසන් පළමු පෙළ ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ සංගක්කාරට, එහි දෙවැනි ඉනිමේදී ලකුණු 35 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ දැවීයාමකට ලක්වීම නිසා නොව ඒ වන විට සරේ ප්‍රාන්ත කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සියලූ දෙනාම දැවී ගොස් තිබූ බැවිනි.

ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 134 ක්ද සමගින් පළමු පෙළ තරග 260 කට ක්‍රීඩා කර තිබූ සංගක්කාර එහිදී රැස්කරගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 20,911 කි.

ඊට ශතක 64 ක් සහ අර්ධ ශතක 86 ක් ඇතුළත් වී තිබිණ. ඉන් ශතක 38 ක් අර්ධ ශතක 52 ක් ඔහු විසින් ටෙස්ට් තරග වලදී ලබාගන්නා ලද ඒවාය.



gossip lanka