gossip lanka

මිනිස්සු අකමැතියි කියලා අපිට මැතිවරණ පරාද වෙන්න බෑ

මහින්ද මහත්තයාල කරපු වැරදි වැඩත් එක්ක රටේ අති බහුතරයක් මහින්ද මහත්තයාට විරුද්ධ වුණා.එතුමාට රටේ මිනිස්සු අකමැතියි කියලා අපිට මැතිවරණ පරාද වෙන්න බෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ  විලච්චිය කිරල්පැටියාව
ගම්මානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලෙහි සාකච්ජාවක් අමතමින්ය.එම ග්‍රාමීය හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා,

අවංකව කථා කලොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත කිහිපයක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බහුතරයක් ජන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරවන්නයි.නමුත් ඒ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වුණා.ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කලේ අපේ වෛරයක්කාරයෙක්, තරහාකාරයෙක් නෙමෙයි. අපේම පක්ෂයේ ලේකම්තුමා තමයි ජයග්‍රහණය කලේ.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස පත් වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමත් මහින්ද රාජපක්ෂ මහතා භාර කළා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට.එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාද වෙලා නෑ,පරාද වුනේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි.පක්ෂයත්, පාක්ෂිකයාවත් පැරදුනේ නෑ.අපේ පක්ෂය පැරදුන අවස්ථා තිබුණා 2001 වර්ෂයේ චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති, ආණ්ඩුව ගියා රනිල් මහත්තයාට.එදා 60 ක් මැරුවා, 3000 ගණනක් හිරේ ගියා, සමෘද්ධි ලැයිස්තු හැදුවේ එ.ජා.ප ශාඛා සමිති වලින්, දේශපාලන පළිගැනීමේ ආරම්භ කළා.හැබැයි ජනවාරී මාසේ 08 වැනිදා අපේ කවුරුත් ගුටි කෑවාද ? අපේ කාගෙවත් අත- පය කැඩුවාද ?අපේ කාගෙවත් සමෘද්ධිය කැපුවාද? කවුරුවත් රස්සාවෙන් අයින් කළාද ?කිසිම පළිගැනීමක් වුණේ නෑනේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ බහුතරයක් කතිරය ගැහුවාට, මැතිවරණය ජයග්‍රහණය කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ලේකම්තුමා නිසා , එතුමා නැවත පක්ෂයේ සභාපති බවට පත් වුණ නිසා එතුමා අපේ වගකීම භාර ගෙන, එතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ආරක්ෂා කළා.බැරි වෙලා හරි මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්  ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ජනාධිපති වුණා නම්  අපේ අයට ගුටි කන්න, බැනුම් අහන්න, රස්සාවෙන් දොට්ට දාන්න, වරප්‍රසාද නොලැබෙන්න හේතු වෙනවා.ඒ කිසිවක් නොවුනා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි පැරදිලා තියෙන්නේ.කඩුව රත්‍රන් කියලා ඇණ ගත්තොත් මැරෙණවා.

මහින්ද රාජපක්ෂ මහත්තයාව අපි දෙපාරක් ජනාධිපති බවට පත් කළා. 1994 වර්ෂයේ චන්ද්‍රිකා මැතිණිය ආණ්ඩුව ගත්තාට පස්සේ චන්ද්‍රිකා මැතිණියව අපි දෙපාරක් ජනාධිපතිනිය කළා, අපි මහින්ද රාජපක්ෂ මහත්තාවත් අපි දෙපාරක්ම ජනාධිපති කළා, මනුස්සයෙක්ව මැරෙනකම්ම ජනාධිපති කරගන්න අපිට වුවමනාව තිබුණට රටේ ජනතාව අකමැති නම් අපි මොනවා කරන්නද ? මහින්ද මහත්තයාල කරපු වැරදි වැඩත් එක්ක රටේ අති බහුතරයක් මහින්ද මහත්තයාට විරුද්ධ වුණා.එතුමාට රටේ මිනිස්සු අකමැතියි කියලා අපිට මැතිවරණ පරාද වෙන්න බෑනේ.අපිට අපේ මිනිහෙක් යවලා ගම හදා ගන්නේ නැතිව ඉන්න පුළුවන්ද ?ඊළග පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවා ගන්නේ නැතිව පරද්දව ගන්න පුළුවන්ද ?මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරෙයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුනොත් අපි දෙගොල්ලම පරදිනවා.මේක මහින්ද මහත්තයාට තේරෙන්නේ නැද්ද ? මහින්ද මහත්තයා බබෙක්ද ?මහින්ද මහත්තයාට ගණන් බැරිද ?මහින්ද මහත්තයා දේශපාලනයට අලුත් කෙනෙක්ද ?

මහින්ද මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක තරහක් තියා ගන්න එක සාධාරණයි, පක්ෂයේ ලේකම් විදිහට ඉදලා තමන් එක්ක හරි හරියට ජන්දය ඉල්ලලා දිනුවා.මහින්ද මහත්තයා  මෛත්‍රී මහත්තයා එක්ක තරහා වෙන එක සාධාරණයි.මොකද අපිට මතකනේ මහින්ද මහත්තයා සරත් ෆොන්සේකා එක්ක තරහා වුණ විදිහ, මහින්ද මහත්තයායි, සරත් ෆොන්සේකා මහත්තයායි තරග කරපු ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහත්තයා පැරදුනාම සරත් ෆොන්සේකාට හිර ගෙදරට යන්න වුණා.යුද්ධය අවසන් කළ හොදම හමුදාපති කියලා කරේ තියාගෙන රට වටේ ගියපු මනුස්සයා තමන් සමග එකට ජන්දය ඉල්ලුවා විතරයි හොරෙක් කරලා , කනෙන් අල්ලා ගිහින් දැම්මා හිර ගෙදරට, ජම්පරය ඇන්දුවා.එදා රණවිරුවා, යුධ විරුවා, රට බේර ගන්න නායකත්වය දුන්න සරත් ෆොන්සේකා මහත්තයාට ජම්පරය ඇන්දුවා.ඒ තමයි පලිගැනීම.ඒ විදිහේ වෛරයක්, මහින්ද රාජපක්ෂ මහත්තයාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්කත් ඇති ලේකම් විදිහට ඉදලා මට කෙලෙව්වා කියලා.දුමින්ද දිසානායකත් එක්කත් තරහක් ඇති මෛත්‍රීපාල මහත්තයා එක්ක යන්න වැඩිය කට්ටිය හිටියේ නෑ , හිටිය ගොඩේ මමත් හිටියානේ.මාත් එක්ක තරහා වුණාට කමක් නෑ, මගෙන් , මෛත්‍රීපාල මහත්තයාගෙන් පළිගන්න එක සාධාරණයි.නමුත් සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් පළිගන්නේ ඇයි ? එතුමාට කතිරය ගහලා තුන්වැනි පාරටත් එතුමාව ජනාධිපති කරවන්න හදපු පාක්ෂිකයින්ගෙන් එතුමා පළි ගන්නේ ඇයි ?

ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුනොත් වෙන්නේ යූ.එන්.පී එක දිනන එකයි.එහෙම වුණොත් ඉදිරි මැතිවරණ සියල්ලම අපිට පරාජයට පත් වෙන්න සිදු වෙනවා.එතකොට පාක්ෂිකයින්ට විශාල ආසාධාරණයක් සිදු වෙනවා.මහින්ද මහත්තයා තමන්ට නැති වුණ දේ සියල්ලන්ටම නැති කරලා දාන්නයි මේ හදන්නේ.

පක්ෂයක් මනුස්සයෙක් එක්ක නාකි වෙන්න ඕනද ?පක්ෂයක් මනුස්සයෙක් එක්ක ලෙඩ වෙන්න ඕනද ?පක්ෂයක් මනුස්සයෙක් එක්ක මැරෙන්න ඕනද ?මගේ තාත්තා වයස අවුරුදු 59 න් නැති වුණා , මගේ තාත්තා එක්ක විතරයි දේශපාලනය කරන්නේ කියලා මේ උතුරු මැද පළාතේ මිනිස්සු හිටියා නම් අපිට පක්ෂය ඉස්සරහට ගෙනියන්න බෑ.එහෙම නම් අපි කරන්න ඕන පුද්ගලයෝ ශක්තිමත් කරන එක නෙමෙයි පක්ෂය ශක්තිමත් කිරීමයි.අද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, හෙට වෙන කෙනෙක් සභාපති වුණත් පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි.අපිට මෛත්‍රී මහත්තයා නැතිව බෑ කියලා පක්ෂය විනාශ කරලා දාන්න පුළුවන්ද? අපිට පක්ෂය විනාශ කරගන්න බෑ, අපි පක්ෂයේ ඉන්න මනුස්සයෝ එක්ක ඉදිරියට යා යුතුයි.පක්ෂය දෙකට බෙදන්න කිසිවකුට ඉඩ දෙන්න එපා යැයිද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

gossip lanka