gossip lanka

චන්දි - තිරි ඇතුලට ආවේ මම බලයට ආවට පස්සෙයි - ඇමති දයාසිරි රහසක් හෙළි කරයි

මේ ගත වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණාත්මකම කාල පරිච්ඡේදයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානියෙන් මෙරට ක්‍රීඩාව ගොඩ නැගීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සමුලුවක් කැදවූයේ පසුගිය දිනවලය. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව සහ ක්‍රිඩාව ගොඩ නැගීමට යෝජීත සැලසුම් පිළිබදව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර
පුවත්පතක් සමග සංවාදයකට එක්වී සිය අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින්

ප්‍රශ්නය – ක්‍රිකට්‌ සැලසුම් බොහොමයක්‌ පසුගිය වසර කිහිපයේදී සකස්‌ කළා. දකුණු අප්‍රිකාවේ හරූන් ලොගාට්‌ ගෙනල්ලා කෝටි ගාණක්‌ වියදම් කරලා එක සැලසුමක්‌ හැදුවා. මහේල ජයවර්ධන මාස අටක්‌ මහන්සි වෙලා තව සැලසුමක්‌ හැදුවා. ඒ සැලසුම් සියල්ල විසි වෙලා යද්දී දැන් ක්‍රිකට්‌ හදන්න අලුත් සැලසුමක්‌ එනවා. මොකක්‌ද මේ සැලසුම් සෙල්ලම. ඒවා ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි?

පිළිතුර – හරූන් ලොගාට්‌ගේ සැලසුමත් මම දැන් බලන්න කිව්වා. මහේලගෙ සැලසුමත් අධ්‍යනය කරන්න කියල තියෙනවා. දැන් අලුතින් හදපු සැලසුමත් එක්‌ක මේ සැලසුම් අධ්‍යනය කරන්න කියලා මම කමිටුවක්‌ පත්කරලා තියෙනවා. ඒකෙ මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ හේමක අමරසූරිය මහතා. හරූන් ලොගාට්‌ගේ සැලසුම නම් පසුගිය කාලයේ බලලවත් නැහැ. විවේචන ගණනාවක්‌ ක්‍රිකට්‌ ආයතනයට පසුගිය කාලයේ ආවා. තරග පැරදීම සහ ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව. ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්නය ටික කතා කරලා අලුතින් සැලසුමක්‌ සකස්‌ කළේ. දැන් ඉන්දියාවෙත් උපදෙස්‌ දෙන්න කමිටුවක්‌ තියෙනවා. ඒ වගේ දෙයක්‌ තමයි අපි කරන්නෙ.

ප්‍රශ්නය – ඇමැතිතුමනි මේ සැලසුම් ක්‍රියාත්මක කිරීම බාලගිරිදෝෂය වගේ වේවිද. ඔබතුමා අදාළ සැලසුම් සහ වෙනස්‌වීම් කරන්න කොපමණ කාලයක්‌ කමිටුවට භාරදීලා තියෙනවද?


පිළිතුර – මාස තුනක්‌ ඇතුළත මම මේ සැලසුම ක්‍රියාත්මක කරන්න කියල තමයි උපදෙස්‌ දීලා තියෙන්නෙ. ඒ සැලසුමේ තියෙන දේවල් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් හදන්න ඕන. කෙටි කාලීන සැලසුම් මාස තුනක්‌ ඇතුළත ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දැන් කළු පැල්ලම් එකතු වෙමින් තිබෙනවා. පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර ක්‍රීඩා සමාජය අතර තරගය එක්‌ නිදසුනක්‌. මේ සියලු කාරණා අතරේ අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ පරීක්‍ෂණයක්‌ සිදුකරනවා.

පිළිතුර – සිම්බාබ්වේ තරග පැරදීමත් සමග විශාල විවේචන එල්ල වුණා. ඒ වගේම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයත් බරපතල කාරණයක්‌. මේ අය සතුව තොරතුරු තියෙනවද කියල බලන්න ඕන. ඒ වගේම මාලිංග කළ ප්‍රකාශයත් සම්බන්ධව ඔහුගෙනුත් තොරතුරු දැන ගන්න කිව්වා. ඒ ඇරෙන්න මාලිංගට විනය පරීක්‍ෂණයක්‌ කරන්න කියල මම කියල නැහැ. සමහරු ඒක වැරදියට හිතලා. මේ කරුණු කාරණා නිසා තමයි අයි.සී.සී. ය මෙහෙම පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන්න ඇත්තේ. මොකද අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය ඉතාමත් ප්‍රබලයි. ඒ අයට ඕනෑම ජාලයක්‌ පැය භාගයක්‌ ඇතුළත ගන්න පුළුවන්. මම හිතන්නෙ මේ පරීක්‍ෂණය කරපු එක ඉතාම හොඳයි. මාලිංගගේ ප්‍රකාශය ගැන අපේ දූෂණ විමර්ශන ඒකකයේ එක්‌කෙනකුයි අන්තර්ජාතික එක්‌කෙනකුයි දාල පරික්‍ෂණයක්‌ කරන්න කියලා. සනත් ජයසුරිය සහ තවත් කීපදෙනෙක්‌ගෙන්ම ඒ අය කට උත්තර ගත්තා. මේ පරීක්‍ෂණයෙන් කට්‌ටිය එක්‌කො නිදහස්‌ වෙයි නැතිනම් වැරදිකාරයෝ වෙයි. අපි දැක්‌කා පසුගිය කාලයේදී පන්දු යවන්නන් මාරු කරන විදිහ සහ ගහන පහරවල් විවේචනයට ලක්‌ වුණා. නමුත් මේ හැම එකකටම ඇඟිල්ල දිගු කර කර ප්‍රශ්න කරන එක සාධාරණයි කියල මම හිතන්නෙ නැහැ. මොකද නායකයාට අයිතියක්‌ තියෙනවා තමාගේ තීරණය ගන්න. ඒ වගේම එයාට වගකීමකුත් තියෙනවා.

ප්‍රශ්නය – තරග පාවාදීම් සම්බන්ධයෙන් පසුගියදා පානදුර සහ කලුතර පී.සී.සී. කණ්‌ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ව තහනම් කළා. නමුත් නිලධාරීන්ට කිසිම තහනමක්‌ නැහැ. මේක විහිළුවක්‌ වගේ බැලු බැල්මට පේනවා. නිලධාරීන් නැතිව ක්‍රීඩකයන්ට තරග පාවාදීම් කරන්න පුළුවන්ද?

පිළිතුර – ඔබ කියපු කාරණය හරියටම හරි. පානදුර සහ කළුතර තීන්දුව ගැන මම සෑහීමකට පත්වෙන්නෙ නැහැ. මොකද ක්‍රීඩකයන්ට තරග පාවාදෙන්න බැහැ දේශීය තරගවල. පිටරටවල ඒක කරන්න පුළුවන් වෙයි. මේ සිද්ධියේදී අනිවාර්යයෙන් පරිපාලකයන් සම්බන්ධ විය යුතුයි. මොකද චාමර සිල්වා අපිට ඉදිරිපත් කරල තියෙන අභියාචනාවේ ඒක පැහැදිලිව තියෙනවා ඔහු සම්බන්ධ වුණේ නැත්තෙ කොහොමද කියලා. තවත් ක්‍රීඩකයන් මට මේ ගැන කිව්වා. ඒකටත් කමිටුවක්‌ පත්කරල කට උත්තර කරලා මේකට සම්බන්ධ බලධාරීන්ට අවුරුදු පහක්‌ දහයක්‌ තහනම් කරන්න ඕන. ඒ නිසා ඉදිරියේදී මේ ගැන නිශ්චිතවම සොයාගන්න පුළුවන්.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ ආයතනය පාඩු නැහැ. නමුත් තරග පරදිනවා. තේරීම් කමිටුව අයින් වුණා. පුහුණුකරු ග්‍රැහැම් ෆොaඩ් ගියා. නායකයා අයින් වුණා. නමුත් අපේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ස්‌ථිර ස්‌ථාන ලැබුණෙ නැහැ ?

පිළිතුර – මම එනකොට තිරිමාන්න සහ චන්දිමාල්ව ඉවත් කරල තිබුණෙ. සමහරු මට කිව්වා චන්දිමාල් ගහන ක්‍රිකට්‌ එකක්‌ නැහැ කියලත්. එතනදි මට තේරුණා කණ්‌ඩායම ඇතුළෙ මහත් අර්බුද තියෙනවා කියලා. මම ආවට පස්‌සෙ තමයි චන්දිමාල් සහ තිරිමාන්න ඇතුළට ආවේ. ඉන්දියානු තරගාවලියේදී තරග පහට නායකයන් පහයි. ඒකට හේතුව ආබාධ. උපුල් තරංගට තහනමක්‌ ආවා. මේ ආබාධත් එක්‌කත් ප්‍රශ්න තියෙනවා. ඩුබායි ගිය සංචාරයට විසි දෙනෙක්‌ ගෙනල්ලා දුන්නා. එතනින් 12 කට ආබාධ තිබුණා. ඊට පස්‌සෙ තව හතරකටත් අත්සන් කළා.

ප්‍රශ්නය – මේ තරම් ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ආබාධ වෙන්නෙ මොකද කියලා ඔබතුමා හොයල බැලුවද?


පිළිතුර – මෙතනදි මට කලින් හිටපු භෞත චිකිත්සකවරයා ගැන විශාල ප්‍රශ්නයක්‌ තිබුණා. මොකද ස්‌ටීව්ගෙ කාලයේ තමයි මේ ක්‍රීඩකයන්ට ආබාධ වැඩිවෙලා තියෙන්නෙ. මොකද ඉන්ජක්‌ෂන් ගහලා ක්‍රීඩකයන්ව ක්‍රීඩා කරවලා. මම දන්නව ඉන්ජක්‌ෂන් ගැහුව්වම මොකද වෙන්නෙ කියලා. මම හිතන විදිහට ඕක තමයි එහෙම වෙන්න හේතුව. අනික ලංකාවෙ හැටියට ක්‍රීඩකයන්ට විවේක ගන්න වෙලාවක්‌ නැහැ. ඒ අය දිගටම ගහනවා. වෛද්‍යවරුන් සමගත් මම කතා කළා. මොකද අපි ගහන්නෙ කකුල් කැඩුන අශ්වයන් සමග. අන්තිමට සනත් ජයසුරියට බැණල වැඩකුත් නැහැ. මේක ඇතුළෙ වෙන වෙන කාරණාත් තියෙනවා.

ප්‍රශ්නය – තේරීම්වලත් ප්‍රශ්නය තියෙනවා. සමහර ක්‍රීඩකයන්ව බලන්නෙම නැහැ. ඒ පිළිබඳව ඔබතුමාගේ ක්‍රියාමාර්ගය කුමක්‌ද?


පිළිතුර – මම දැන් ක්‍රීඩා සංගම් නවයක තේරීම් කමිටුවට පත්වීම් ලිපි දුන්නා. ඒ හැම තේරීම් කමිටුවකටම කිව්වෙ තේරීම් කරන පටිපාටියක්‌ සකසන්න කියලා. ලෝකයේ හැමතැනම එහෙම ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒකට පිටින් යන්න බැහැ. මම ග්‍රැහැම් ලැබ්බ්‍රොයිටත් කිව්වා හරියට වැඩේ කරන්න කියලා. නමුත් දැන් මට විශ්වාසයක්‌ තියෙනවා ඒක ඉදිරියට සිද්ධ වෙයි කියලා. අද ක්‍රීඩා සමාජවලට ක්‍රීඩකයන් නැත්තෙ මේ නිසා. මොකද ඒ ළමයි යනවා ඔස්‌ටේ්‍රලියාවෙ හරි එංගලන්තයේ හරි.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ සභාපතිවරයාට බුකී චෝදනා තියෙනව නේද?

පිළිතුර – තිලංග සුමතිපාල මහත්තයා නිලවරණයට ඉදිරිපත් වෙනකොට මම අයි.සී.සී. යේ ඩේවිඩ් රිචඩ්සන්ගෙන් විමසුවා මෙයා ගැන බුකී සම්බන්ධව අයි.සී.සී. යේ ප්‍රශ්නයක්‌ තියෙනවද කියලා. එහෙම දෙයක්‌ නැහැ කියල අයි.සී.සී.යෙන් මට ලිපියක්‌ එව්වා. නමුත් ලංකාවෙ ඇතුළෙ අර්ජුන රණතුංග මහත්තයා බුකීකාරයා බුකීකාරය කියල තිලංගට බැණ බැණ යනවා. මම හැම වෙලාවෙම කියන කාරණයක්‌ තමයි සමහර ඇමැතිවරු බිස්‌නස්‌ කරනවා නෝනගෙ නම දාලා. ඉතිං අපිට ඔප්පු කරන්න පුළුවන්ද? තිලංග සුමතිපාල මහතාගේ පවුලෙ බිස්‌නස්‌ එකක්‌ කියලා එයා නඩු තීන්දුවකදී කියලා තියෙනවා. නමුත් එයා කොයිවෙලාවක හරි එහෙම දෙයකට සම්බන්ධ වෙලා තියෙනව නම් මට කියන්න. බැරි වෙලාවත් තිලංග සුමතිපාල මහත්තයට ඡන්දයට ඉදිරිපත් වෙන්න එපා කියල මම නාමයෝජනාව අයින් කළානම් එයාට නඩු යන්න පුළුවන්. තිලංග සුමතිපාල මහත්තයව තියන් ඉන්න මට කිසිම වුවමනාවක්‌ නැහැ. චෝදනා තියෙනවනම් ඔප්පු කරන්න. අර්ජුන රණතුංග මහත්තයල ඉස්‌සර තිලංග සුමතිපාලත් එක්‌ක එකට හිටපු අය. දැන් බුකීකාරයා කියනවා.

ප්‍රශ්නය – දේශපාලනඥයන් ක්‍රීඩාවට ආවහම නේද ප්‍රශ්න වැඩි. මේක නැවැත්තුවොත් විසඳුමක්‌ ලැබේවි කියල හිතන්න පුළුවන්ද?

පිළිතුර – ඉස්‌සර ඇමැතිවරයා ක්‍රීඩා කළත් නැතත් ක්‍රීඩා ඇමැතිවරයාට පුළුවන් අනුමැතිය දෙන්න. නමුත් දැන් මම ඒ ක්‍රමය නවත්වල තියෙනවා. එතනදි මම කියන්න ඕන ඇමැතිවරයෙක්‌ ආපු ගමන් සමහර සංගම්වලට විශාල ශක්‌තියක්‌ තියෙනවා. අනුග්‍රාහකත්ව ලැබෙනවා. දැන් මම සංගම්වලට එනවනම් ඒ ක්‍රීඩාව දේශීය වශයෙන් ක්‍රීඩා කරල තියෙන්න ඕන. දැන් අපි සීමා කරල තියෙනව දේශපාලනඥයන්ට සංගම්වලට එන්න බැරි විදිහට. ක්‍රීඩා කරල තියෙනව නම් ප්‍රශ්නයක්‌ නැහැ.


gossip lanka