gossip lanka

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දොස් කියයි

පුහුණුකරුවකු ලෙස දීර්ඝකාලීනව කටයුතු කිරීම සම්බන්ධව තමා ඉන්නා ස්ථාවරයේ කිසිම වෙනසක් නොමැති බව පවසන හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන, ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සදහා තමන්ගේ දැනුම අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක එය ලබාදීමට සූදානම් බව අවධාරණය කර සිටියි. ‘ජනයුගය’ හමුවේ විශේෂ සාකච්ඡාවකට
එක්වෙමින් අදහස් දැක්වූ හිටපු ටෙස්ට් නායකයා, එහෙත් ඒ සියල්ල සිදුවිය යුත්තේ ඒ සදහා වූ සුදුසු වටපිටාවක් නිර්මාණය වුවහොත් පමණක් බවද සදහන් කර සිටියේය.

“කලින් කිව්වා වගේම දීර්ඝකාලීනව පුහුණුකරු තනතුරක් භාරනොගැනීම සම්බන්ධව මම හිටපු ස්ථාවරයේ කිසිම වෙනසක් වෙලා නැහැ. නමුත් මගේ දැනුම ලබා ගැනීමේ අවශ්‍යථාවයක් තියෙනවා නම් ඒක ලබාදෙන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් වැඩක් කෙරෙන විදියක් තියෙනවා. ඒ වගේ වාතාවරණය හැදුණොත් විතරක් මම ඒ සදහා ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙනවා” යැයි මහේල පැවැසීය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සදහා යෝජනා වූ වැඩපිළිවෙළ සම්බන්ධව වඩාත් සතුටට පත්ව සිටින හිටපු ටෙස්ට් නායකයා ඒ වෙනුවෙන් තමන්ට හැකි උපරිමය ලබාදීමට කටයුතු කරන බවද සදහන් කර සිටියේය.

“මං හිතන විදියට ඇමැතිතුමාට තේරුම් ගිහිල්ලා තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැදිලා තියෙන්නේ පාසල් ක්‍රීඩාවත් සමග කියන එක. ඒක ඉතා හොද දෙයක්. ඒ වගේම එහි වැදගත්භාවය පිළිබදවත් ඔහු තුළ හොද විශ්වාසයක් තියෙනවා.”

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළට ගේන්න මම කලින් හදපු යෝජනාවේම කොටසක් මේ වැඩපිළිවෙළට ඇතුළත් කිරීමට හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒත් මේක කරගෙන යනකොට යම් යම් බාධා සහ කකුලෙන් ඇදීම් සිදුවෙන්න පුළුවන්. ඒත් වඩා වැදගත් වෙන්නේ කරන දේ හරියට කිරීම පිළිබදව අවධානය යොමු කරන එකයි” යැයි මහේල වැඩිදුරටත් පැවැසීය.

අදාළ වැඩපිළිවෙළ ලබන වසරේ පැවැත්වීමට නියමිත වයස අවු. 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ සිට ක්‍රියාත්මකවීමට නියමිත වන අතර ක්‍රිකට් දක්ෂතාවලට අමතරව සෑම අංශයකින්ම සර්ව සම්පූර්ණ පුද්ගලයකු බිහි කිරීම එම වැඩපිළිවෙළේ ප්‍රධානම අරමුණ බවට පත්වී තිබේ.

“මම කියන්නේ නෑ හැමෝටම රට නියෝජනය කරන්න පුළුවන් කියලා. ඒත් මේ වැඩපිළිවෙළ යටතේ ක්‍රීඩා කෞශල්‍ය වැඩි කිරීම මෙන්ම ක්‍රීඩකයන්ගේ විනය සහ සදාචාරාත්මක ප්‍රතිපත්තීන් ඉහළ තලයකට නොඒම, ආදී කරුණුවලට මුල් තැන දීලා තියෙනවා. ඒත් එක්කම පුහුණුවීම්වල නවතම ක්‍රම උපයෝගී ගැනීම, පුහුණුකරුවන්ට නව අදහස් ලබාදීම මෙන්ම විනිසුරු ප්‍රමිති තත්ත්වය ඉහළට ගෙන ඒම මේ වැඩපිළිවෙළට ඇතුළත් වෙලා තියෙනවා” යැයි මහේල පවසයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබදව වත්මන් පරිපාලනයටම ඇගිල්ල දිගු කිරීම සාධාරණ නොවන කටයුත්තක් බවද පෙන්වා දෙන ජයවර්ධන, එහි දැවැන්ත වගකීමක් වසර 10ක පමණ කාලයේ සිට පරිපාලනයේ යෙදුණු පිරිස මෙන්ම කණ්ඩායමේ ක්‍රීඩකයන්ද භාරගත යුතු බව සදහන් කර සිටියේය.

“ඇත්තටම අපේ කඩා වැටීමට ක්‍රීඩකයන් වගකිව යුතුයි. පරිපාලනයයි වැරැදි අපේ අතින් වැරැදි වුණේ නෑ කියලා ඔවුන්ට අත පිහද ගන්න බැහැ. ඔවුන් එහි වගකීම ගන්න ඕන. විශේෂයෙන්ම ඔවුන් ක්‍රීඩා කරපු විලාසය සම්බන්ධව. ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් දැනගන්න ඕන ඔවුන් නියෝජනය කරන්නේ රටයි කියන එක. ඔවුන්ගේ අතින් වැරැදි වුණා කියලා පිළිගන්නවා. ඒත් තරගාවලිය පුරාම ඒ වැරැදි හදාගන්න උනන්දු වෙන්නේ නැහැ. බාහිර බලපෑම් තියෙන්න ඇති. ඒත් ඒක නිදහසට කරුණක් නොවෙයි. මම කියන්නේ රට නියෝජනය කරද්දී මීට වඩා කැපවීමකින් ක්‍රීඩා කළ යුතුයි කියන එක” යැයි මහේල ක්‍රීඩකයන් සම්බන්ධව අදහස් දක්වා සිටියේය.

මහේල ජයවර්ධන මෙන්ම කුමාර් සංගක්කාරද විශ්‍රාම ගොස් වසර 3කට ආසන්න කාලයක් ගතවී ඇතත් වත්මන් කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන්ට වඩා ඔවුන් දෙදෙනා තවමත් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියවී තියෙන්නේ ඇයිද යන්න කරන ලද විමසීමකදී පිළිතුරු දුන් මහේල, “ගුණාත්මක බවින් යුතු ක්‍රීඩකයෝ බිහි නොකරපු එක තමයි ඒකට හේතුව. දැන් ඉන්න අයට කිසිම වටිනාකමක් නැහැ. එනවා යනවා. අපි හින්දා කියනවා නොවෙයි. අපි ඒ වටිනාකම හදා ගත්තා. මමයි සංගයි නිතරම බැලුවේ අපේ දැනුම වැඩි කරගන්න එක. එහෙමයි අපි මේ තත්ත්වයට ආවේ. මම කියන්නේ මේක මුල සිටම හදාගෙන ආ යුතු දෙයක් කියලයි” යැයි මහේල සදහන් කළේය.
.



gossip lanka