gossip lanka

චාමර සිල්වාට “බඩේ රුදාව” හැදුණේ පාවාදීමට විරුද්ධ නිසාද?

තරග පාවාදීමක්‌ සම්බන්ධයෙන් වසර දෙකක තහනමකට ලක්‌ව සිටින හිටපු ටෙස්‌ට්‌ ක්‍රීඩක චාමර සිල්වාට අභියාචනාවක්‌ ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව අදාළ පරීක්‍ෂණය මෙහෙයවූ ප්‍රධානියා වන අසේල රැකව මහතා පවසයි.

පානදුර ක්‍රීඩා සමාජය සහ කලුතර පී.සී.සී. ක්‍රීඩා සමාජය අතර ඉකුත්
ජනවාරි මස සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ තෙවැනි දිනයේදී සිදුවූ ක්‍රියාදාමය පිළිබඳව කරන ලද පරීක්‍ෂණයෙන් පසුව චාමර සිල්වා මෙන්ම අදාළ කණ්‌ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ක්‍රිකට්‌ තරග තහනමක්‌ පැනවුණි.

පරීක්‍ෂණ කමිටුව විසින් තරගයට සම්බන්ධ ක්‍රීඩකයන්ට කිහිප වරක්‌ම පැමිණ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව ලබාදුන්නද ඒ සියලු අවස්‌ථා ඔවුන් මග හැරී ඇති බවත් එක්‌ වතාවක්‌ පමණක්‌ චාමර සිල්වා නීතිඥයකු ඉදිරිපත් කර ඇති බවත් රැකව මහතා පවසයි.

“චාමර සිල්වා සහ චරිත බුද්ධික දෙදෙනාම එක දවසක්‌වත් පරීක්‍ෂණ කමිටුව ආවේ නැහැ. චාමර සිල්වා බඩේ අමාරුවක්‌ නිසා තරගයේ තෙවැනි දිනය ක්‍රීඩා කළේ නැහැ කියල ආරංචි වුණා. නමුත් අපි පරීක්‍ෂණය කළේ දින තුනේම තරගයට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ට. මොකක්‌ හරි හේතුවක්‌ තිබුණනම් ඔහුට මේ ගැන දන්වන්න තිබුණා. එහෙම වුණානම් අපි ඒ ගැන සොයා බලනවා.”

චාමර සිල්වා තරගයේ තෙවැනි දිනයේදී පැමිණ නැති බවත් ඔහු නායකයා ලෙස ලකුණු සටහන් පොතේ අත්සන් නොකර ඇති බවත් සඳහන් වේ. නමුත් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් තරග තහනමක්‌ ලබද්දී අදාළ ක්‍රීඩා සමාජ දෙකේම කිසිදු බලධාරියකුට එරෙහිව පාවාදුන් බවට සාක්‍ෂි ඉදිරිපත් වී නොමැත. ඒ අනූව තරගය දෙපිලේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන්ගේ උවමනාවටම පාවාදීමේ සිද්ධියකට මුල් වූයේ කෙසේද යන්නත් ගැටලුවක්‌ව තිබේ.

පානදුර ක්‍රීඩා සමාජය අදාළ තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීම සහ කලුතර පී.සී.සී ක්‍රීඩා සමාජයටද තරගය පරාජය වුවත් අදාළ ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමෙන් අගතියක්‌ නොවන ලෙසත් මෙම තරගයේ තීරණය දෙපිලම කතාවී ක්‍රීඩා කර ඇති බවට පරීක්‍ෂණ කමිටුව නිගමනය කර තිබේ.

“මෙතන වරදක්‌ වෙලා තියෙනවා. ඒ නිසා මේ අය ගැන වාර්තාවක්‌ දුන්නා. ඒ අනූව තමයි ක්‍රිකට්‌ විධායකය තහනම ක්‍රියාත්මක කළේ. ඒ ඇරෙන්න අපි කිව්වෙ නැහැ අදාළ අයට දඩ ගහන්න හෝ තරග තහනම් කරන්න කියලා. ඒක අපිට අයිති රාජකාරියක්‌ නොවෙයි.” යනුවෙන් රැකව මහතා ඊයේ ක්‍රිකට්‌ ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

- දිවයින

gossip lanka