gossip lanka

රාජිත සමග අපි හැමෝම අත්වැල් බැදගන්නවා.. විශ්වාසභංග යෝජනාව ඔහුගේ ගමනට ආශිර්වාදයක්..- SB

බේරුවල නව සමෘද්ධි සංගම් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම සමාජ සවිබල ගැන්වීමේ සහ සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 300 කට අධික වේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සමෘද්ධි ව්‍යාපාරය දිවයින
පුරා ක්‍රියාත්මක කිරීමේ නිර්මාතෘ වන්නේ එස්.බී දිසානායක අමාත්‍යවරයායි. එය ඔහුගේ සංකල්පයක්. 80 දශකයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශණය සකස් කළේ එස්.බී දිසානායක අමාත්‍යවරයා විසින්. පක්ෂය විසින් නිකුත් කරන විශේෂ නිවේදනයක් වුවද කෙටුම්පත් කළේ එතුමා විසින්. මමත්, එස්.බී දිසානායක මහතාත් විශ්ව විද්‍යාල සමයේ සිට ශිෂ්‍ය ව්‍යාපාර වලට සම්බන්ධ වුනා. එකට ගැටුනා. එකට වැඩ කළා. එකට දේශපාලන කළා. එස්.බී දිසානායක මහතාට දේශපාලන විඥානයක් මෙන්ම නව අදහස් ලබාදීමේ හැකියාවක් ද තිබෙනවා.

සමෘද්ධි ව්‍යාපාරය වසර 22 ක ඓතිහාසික ව්‍යාපාරයක්. එය එක්සත් ජාතික පක්ෂ රජයකටවත් නතර කිරීමට බැරි වුනා. 2001 වසරේ බිහි වූ එක්සත් ජාතික පක්ෂ රජය බිදවැටීමට පවා සමෘද්ධි ව්‍යාපාරය පිළිබද කළ ප්‍රකාශයක් හේතු සාධක වූ බව පසුව අනාවරණ වුනා. සමෘද්ධි ව්‍යාපාරය දිවයින පුරාම ව්‍යාප්ත කර තිබෙනවා. වත්මන් ජාතික රජය තුල දී ද සමෘද්ධි ව්‍යාපාරයට 20,000 ක් බඳවා ගත්තා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව රට පාලන කරන මොහොතක එවැනි පිරිසක් බඳවා ගැනීම ඉතාම වැදගත්. මීට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කර ඇත්තේ ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ පමණයි. මෙම සංකල්පය අපේ රටට හදුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින්. ජනාධිපතිවරයාත් ඊට එකගත්වය පළ කළා.

2015 ජනවාරි 08 දින මැතිවරණ ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට අපට අවස්ථාව උදා වී තිබුනා. නමුත් එහෙම කළේ නැහැ. මැතිවරණයක් පැවැත්වූවා නම් අපි ජයග්‍රහණය කරනවා. මොකද මහින්ද රාජපක්ෂ තංගල්ලට යනකල් පසුබැහැලා. බැසිල් රාජපක්ෂ පළා ගිහිල්ලා හිටියේ. මහින්ද රාජපක්ෂ මහතා එම නිසා තමයි පක්ෂයේ සභාපතිධූරය වත්මන් ජනාධිපතිවරයාට ලබාදුන්නේ. ජාතික රජය පිළිබදව අපි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරණතුංග මහත්මියගේ පාලන කාලයේ ද අදහස් දැක් වූවා. ඒ කාලයෙත් අපි සටන් කළා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව පිහිටුවාගත් රජය දින 100 ක රජයක් ලෙස ඉදිරියට ගෙන ගියේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට එකතුවීම සදහායි. එය අමාරු කාර්යයක් වුනත් යම් මට්ටමකින් සාර්ථකත්වයට පත් වුනා. අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එස්.බී දිසානායක මහතාත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මමත් එකතු වෙලා මුල් ගල තැබුවේ එම නිසයි.

මමත් එස්.බී දිසානායක මහතාත් දිර්ඝ කාලීන මිතුරන් හිටපු ජනාධිපතිනියගේ සමයේත් එකට ගැටුනා. එකට සටන් කළා. එස්.බී දිසානායක මහතා දේශපාලනය කියවපු මිනිසෙක්. නොබියව අදහස් ප්‍රකාශ කරනවා. දේශපාලන විනඥානය, උපාය මාර්ගය, උපක්‍රම දැනගෙන දේශපාලන කළ යුතුයි. නැතිනම් ගමනක් නැහැ. අමාත්‍යධූරය හෝ මන්ත්‍රීධුරය දේශපාලනය නොවෙයි. අපේ රටේ ජාතික ප්‍රශ්ණය විසදා ගැනීමට වසර 60 ක කාලයක් ගත වෙලත් බැරි වුනා. ඇතැම් පුද්ගලයින් බලය, ධනය වෙනුවෙන් විවිධ අදහස් මත වැඩ කරනවා. අපි මෙම ජාතික ප්‍රශ්ණය විසදා ගත යුතුයි.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය එස්.බී දිසානායක මහතා – “රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවට විශාල කාර්යභාරයක් ඉටු කළා. ඖෂධ පනත ගෙනඑමින් ඖෂධ සමාගම් සමග සටන් කරමින් ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරමින් සහනයක් ලබාදුන්නා. එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය පරාජය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඒකරාශි වී සිටිනවා. එහි තිබෙන ඇතැම් චෝදනා සත්‍ය නැහැ. චෝදනා දෙකක් ගොනුකරන්න ඕන මටයි. ඒ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් ආයතනය පිළිබදවයි. මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අපි සියලු දෙනාම එකට අත්වැල් බැදගෙන සිටිනවා. මෙම විශ්වාසභංග යෝජනාව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ දේශපාලන ගමනට ආශිර්වාදයක් වන බව මම ප්‍රකාශ කරනවා.”

මෙහිදී සමෘද්ධිලාභීන්ට මහන මැෂින් ප්‍රදානය කිරීමක් ද සිදු කෙරිනි.

– ප‍්‍රසන්න අධිකාරී


gossip lanka