gossip lanka

නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට !

නීතිපති දෙපාර්තමේන්තුව යලි ජනපති යටතට ගැසට් කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පසුගිය පාලන සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ රඳවා ගෙන සිටි නීතිපති දෙපාර්තමේන්තුව, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අධිකරණ අමාත්‍යවරයා යටතට පත් කරනු ලැබුවේ,
රාජපක්ෂ පාලන යුගයේදී නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති කාර්යාලය හරහා මුළුමනින්ම දේශපාලනීකරණය කරන ලදැයි සිවිල් සංවිධාන විසින් කල චෝදනා සැලකිල්ලට ගනිමිනි.

කෙසේවුවද බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියාකළ ආකාරය එජාප නායකත්වයේ දැඩි විවේචනයට ලක්වූ අතර, තමා ඇමැතිධුරයෙන් ඉවත්කලේ බැඳුම්කරයට අදාළ දුෂණ චෝදනා වලින් ඇතැම් එජාප නායකයින් බේරා ගැනීම සඳහා යයි හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබිණ.

එම පසුබිම තුල ‘හැට දෙලක්‍ෂයේ කොටස්කරුවෝ’ නමැති සංවිධානයක් නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ, බැදුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් අධිකරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා සතුව තබාගත යුතු බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවට දොස්‌ කියනවට මම කැමති නැහැ

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පිරිසක්‌ සමඟ ඊයේ (24) පැවැති හමුවකදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු වැරැද්දක්‌ තමන් දකින්නෙ නැති බව ප්‍රකාශ කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවට නිදහසේ වැඩ කර ගෙන යන්න අවස්‌ථාව ලබා දිය යුතු බවත් කවුරුන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවට දොස්‌ කියනවා නම් තමන් ඊට කැමැති නැති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව ඇමැතිවරුන් විවිධ අදහස්‌ පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එම අදහස්‌ පළ කළේය.

ජනාධිපති නිල නිවසේදී ඊයේ (24 වැනිදා) උදෑසන මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඉදිරියටත් පූර්ණ ස්වාධීනයි:

බැඳුම්කර කොමිසමේ කටයුතු හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කිසිදු බලපෑමකින් තොරව ඉදිරියේදීත් ස්වාධීනව හා නිදහස්ව සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අවධාරණය කළේය.

මෙම කොමිසන් සභා පිළිබඳව ජනතාවට ඇති වූ විශ්වාසය කිසි විටෙක කඩවීමට ඉඩක් නොතබන බවද හෙතෙම කියා සිටියේය.

 විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාවල සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට හානියක් සිදුවිය හැකි බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඒ බැව සඳහන් කළේය.

බැඳුම්කර කොමිසන් සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු එහි නිර්දේශ ලබාදෙන තෙක් ඒ පිළිබඳව කිසිවක් සඳහන් කළ නොහැකි බව කී ජනාධිපතිවරයා එම වාර්තාව ලැබුණ පසු ඉන් එහාට සිදුවිය යුතු දේ නීතිපති හරහා සිදුකරන බවද අවධාරණය කර සිටියේය.



gossip lanka